/ Aug 21, 2026

දවසේ කාලගුණය!

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර වයඹ පළාතේද වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මුහුදු ප්‍රදේශයන්ට අදාළව කාලගුණ නිවේදනය නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බවයි.

සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) දක්වා ඉහළ යා හැක.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක .

හලාවත සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්‍රජාවත්, එම වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top