/ Aug 21, 2026

පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳවැටෙයි. වාර්තා වෙනුවෙන් අයදුම් කරන්න එපා – ජනතාවට දැනුවත් කිරීමක්

පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන නිෂ්කාශන සහතිකපත් සම්බන්ධ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් මෙම නිෂ්කාශන සහතිකපත් නිකුත් කරනු ලබන අතර, අයදුම්පත් භාරගැනීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් හරහා සිදුකරනු ලබයි.

කෙසේවෙතත්, එම දත්ත පද්ධතිය ඊයේ (20) දහවල් 12.50 සිට අක්‍රිය වී ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

පද්ධතිය යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කර ඇති අතර මේ වනවිට ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද පොලීසිය පවසයි.

ඒ අනුව දත්ත පද්ධතිය යථාවත් වන තෙක් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් නොකරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දත්ත පද්ධතිය යථාවත් කළ වහාම නිෂ්කාශන වාර්තා සඳහා අයදුම්පත් නැවත ඉදිරිපත් කිරීමට හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top