/ Aug 25, 2026

නියගයෙන් හානියට පත් වගාවන්ට රජයෙන් රු.මිලියන 3000ක වන්දි!

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් නියගයෙන් හානියට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවීම සඳහා රජය රුපියල් මිලියන 3000 ක් වෙන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ මොණරාගල, පොළොන්නරුව,හම්බන්තොට, අනුරාධපුර, අම්පාර ආදී දිස්ත්‍රික්වල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී, බඩඉරිගු ඇතුළු අනිකුත් වගාවන්ට හානි සිදුවී ඇති බව වාර්තා වී තිබෙන බවයි.

මෙහිදී වී වගාවට අදාලව මොණරාගල අක්කර 1401 ක්, පොළොන්නරුව අක්කර 1259 ක්, හම්බන්තොට අක්කර 783 ක් , අම්පාර අක්කර 1055 ක් සහ අනුරාධපුර අක්කර 1923 ක ප්‍රමාණයක් ඇතුළුව මේ තත්ත්වය යටතේ හානියට පත් දිස්ත්‍රික්කයන්හි ආසන්න ලෙස ගොවීන් 7000 කට පමණ අයත් ගොවිබිම් අක්කර 8000 කට ආසන්න ප්‍රමාණයක් හානියට පත්ව ඇතැයි හඳුනා ගන තිබේ.

ඒ අනුව මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 3000 ක ප්‍රමාණයක් රජය විසින් වෙන්කර ඇත.

මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්‍ෂෙත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ඇතුළු කණ්ඩායම් වියළි කාලගුණික තත්ත්වය යටතේ බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්කවල වගා බිම්වලට ගොස් හානි තක්සේරු කිරීම් කටයුතු සිදුකරමින් පවතී.

හානියට පත් වගාවන් සඳහා මීලග කන්නයට පෙර කඩිනමින් වන්දි මුදල් නිදහස් කර ගොවීන්ට සහන සැලසීම රජයේ අරමුණ වන අතර ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම තත්ත්වය යටතේ හානියට පත් වූ කුඹුරු බිම් සඳහා වන්දි ගෙවීම කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී තිබේ. මෙහිදී හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා හා මිරිස් යන බෝග 06 ක් සඳහා හෙක්ටයාරයක් සඳහා රු.100,000/- මුදලක් අක්කර 05 ක් සඳහා උපරිම වශයෙන් වන්දි ගෙවීම සිදුකරනු ලැබේ.

මේ දක්වා හානි දැනුම්දීම සිදුකර නොමැති ගොවි මහතුන් හැකි ඉක්මණින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහතුන් හෝ කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලයේ සංවර්ධන/ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දීම කිරීම හෝ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ පොතෙහි වගා හානිය සටහන් කිරීම කළ යුතු වෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීම මගින් ගොවි ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top