වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නවසීලන්ත රජය සූදානම් වන බව එරට අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් පවසා තිබේ.
අදාළ නීති උල්ලංඝනය කරන සමාජ මාධ්‍ය වේදිකාවලට එම සමාගම්වල ගෝලීය ආදායමෙන් සියයට 10ක් දක්වා දඩ මුදලක් පැනවීමට ද මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති අතර නව නීතිය යටතේ සමාජ මාධ්‍ය වේදිකා විසින් පරිශීලකයින්ගේ වයස තහවුරු කිරීම සඳහා සාධාරණ පියවර ගැනීමට සිදුවන බවත් ඒ සඳහා දැනට පවතින ගිණුම් තොරතුරු, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහ ඩිජිටල් අනන්‍යතා ලේඛන වැනි ක්‍රම භාවිත කළ හැකියි.
සමාජ මාධ්‍ය හරහා දරුවන්ට අහිතකර අන්තර්ගතයන්, ඇබ්බැහි වීමට හේතු වන තාක්ෂණික භාවිතයන් සහ ඔවුන්ගේ වයසට හා අවබෝධයට නොගැළපෙන විවිධ පීඩනවලට මුහුණ දීමට සිදුවන බව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් පෙන්වා දී ඇත.
එම තත්ත්වය පවුල තුළ දරුවන්ගේ ජීවිතය, මානසික සෞඛ්‍යය, නින්ද සහ අධ්‍යාපනය කෙරෙහි ද බලපෑම් ඇති කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම යෝජිත නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බවද අග්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බව දැක්වෙයි.
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් ක්‍රියාත්මක කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පසුගිය දෙසැම්බර් මාසයේදී පත්වී වූ අතර එම නීතිය යටතේ TikTok, YouTube, Instagram සහ Facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා කිහිපයකට වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ප්‍රවේශ වීම සීමා කර තිබේ.






