/ Aug 26, 2026

වසර තුනක පසු සැබෑ වන කබරගල නිවාස සිහිනය!

2023 මාර්තු 19 වන දින සිදු වූ නායයෑම හේතුවෙන් නිවාස අහිමිව, වසර තුනහමාරකට ආසන්න කාලයක් වසා දමා තිබූ තේ කර්මාන්තශාලාවක අතිශය දුෂ්කර හා අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වූ කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාපුරම්” නිවාස ව්‍යාපෘතියේ නිවාස 50 අගෝස්තු 28 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

නව නිවාසවල පදිංචි වන පවුල් 50 සඳහා නව ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ හා උපකරණ ප්‍රදානය කිරීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදු කෙරිණි.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ පවුල් 50ක් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිවාස 50ක් ඉදිකර තිබේ. එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් වැය කර ඇති අතර, නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත මෙම නිවාස එම පවුල්වලට ආරක්ෂිත සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දිම මෙහි අරමුණයි.

නිවසක් සහ ඉඩමක් ලබාදීමෙන් පමණක් සීමා නොවී, නව නිවසේ දෛනික ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ගෘහ උපකරණ සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුතුව සෑම පවුලකටම ලබාදීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.

ඒ අනුව, වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක ජීවත් වීමට සිදුවූ පවුල් 50කට ආරක්ෂිත නිවසක්, තමන්ගේම ඉඩමක්, අභිමානයෙන් ජීවත් වීමට අවස්ථාවක් මෙන්ම නව ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පහසුකම්ද මෙම වැඩසටහන මගින් හිමි වේ.

“නිවසක් යනු ගොඩනැගිල්ලක් පමණක් නොව, ජීවිතයක නව ආරම්භයකි” යන සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ගනු ලැබූ සුවිශේෂී මැදිහත්වීමකි.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, අම්භිකා සැමුවෙල් සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්ම මහත්මීන්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, අනුග්‍රාහකභවතුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top