අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් ස්ථානමාරු කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එම විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය පවසයි.
ඒ අනුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිබාහිරව රාජකාරි සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශනය සිදුකෙරෙන අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ, අත්අඩංගුවේ පසුවන තම පියාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන ආකාරයයි.
පොලීසිය සඳහන් කළේ එම වීඩියෝවේ පියා ලෙස හඳුන්වා ඇති වියපත් පුද්ගලයා පසුගිය 24 වනදා රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසරමින් සිටීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයා පලායාමට උත්සාහ කර ඇති අතර එහිදී ඇදවැටීමෙන් තුවාල සිදුවී රුධිර වහනයක් ඇතිවූ බවට වීඩියෝ දර්ශනවලින් පෙනී යන බවද පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා අද (25) අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ඔහු බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.
එහිදී ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විශේෂ විමර්ශනයේ ක්‍රියාත්මකයි.






