යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගෙන ඇති ස්ථාවරය හා ඒ සම්බන්ධයෙන් ගනු ලබන නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සහය පළවී තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, බලතල වෙන් කිරීමේ මූලධර්මය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම කිසිදු වෘත්තීය කණ්ඩායමකට පමණක් සීමා වූ වගකීමක් නොවන අතර, එය සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් බව සිය සංගමයේ ස්ථාවරය බවයි.
විශේෂයෙන්ම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය හෝ විශ්‍රාම වයස වෙනස් කිරීම වැනි කරුණු සාමාන්‍ය පරිපාලනමය සංශෝධනයක් ලෙස පමණක් සැලකිය නොහැකි බවත් එවැනි වෙනස්කම් සිදු කිරීමේ ක්‍රමවේදය, එහි කාලය, එයට අදාළ විය හැකි වර්තමාන ධුරධාරීන් සහ එමගින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසයට ඇති විය හැකි බලපෑම ඉතා ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බව අදහස් කරන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
යුක්තිය ඉටු වීම පමණක් නොව, යුක්තිය ස්වාධීනව, අපක්ෂපාතීව සහ බාහිර බලපෑමකින් තොරව ඉටු වන බව මහජනතාවට පැහැදිලිව පෙනී යාමද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය කොන්දේසියකි. විනිසුරුවරුන්ගේ ධුර කාලය සම්බන්ධ නීතිමය රාමුව වෙනස් කිරීමේදී එම මූලික විශ්වාසයට හානි වන ආකාරයේ සැකයක් හෝ පූර්වාදර්ශයක් පවා ඇති නොවීමට වගබලා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එසේම, අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන්, නඩු ගොඩගැසීම හෝ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු පවතින්නේ නම් ඒවාට විසඳුම් සෙවිය යුතු බව අප පිළිගන්නා නමුත් එහෙත් එවැනි පරිපාලන හෝ පද්ධතිමය ගැටලු සඳහා ගනු ලබන විසඳුම්, අධිකරණයේ ආයතනික ස්වාධීනත්වය හෝ මහජන විශ්වාසය දුර්වල කරන ආකාරයකින් ක්‍රියාත්මක නොවිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
”අධිකරණ තීන්දු විවේචනය කිරීමටත්, අධිකරණ පද්ධතියේ අඩුපාඩු පිළිබඳව නීත්‍යානුකූලව ප්‍රශ්න කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉඩ තිබිය යුතුය. එහෙත් එවැනි කරුණු සඳහා විසඳුම් සෙවීමේදී ස්ථාපිත ව්‍යවස්ථානුකූල හා නීතිමය ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු.
එබැවින්, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, ජනතා පරමාධිපත්‍යය සහ ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගෙන ඇති මූලධර්මාත්මක ස්ථාවරයට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහයෝගය මෙයින් ප්‍රකාශ කර සිටිමු.
මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල රාමුව තුළ ගනු ලබන සාධාරණ ක්‍රියාමාර්ග සඳහාද අපගේ සංගමය සහයෝගය පළ කරන අතර, මෙය නීතිඥ ප්‍රජාවට පමණක් අදාළ ගැටලුවක් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම්, නිදහස සහ අනාගත ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සම්බන්ධ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බවද අවධාරණය කරමු.
අපගේ සංගමය කිසිදු පුද්ගලයෙකු, ආයතනයක් හෝ දේශපාලන පාර්ශ්වයක් වෙනුවෙන් නොව, ස්වාධීන අධිකරණයක්, නීතියේ ආධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ස්ථාවරය ගන්නා බවද විශේෂයෙන් සඳහන් කරමු.
මෙම ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ අපි සිටිමු. නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීන අධිකරණය ආරක්ෂා කිරීම සඳහා ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා අපගේ සහයෝගය ලබාදීමට සූදානම් බවද මෙයින් දන්වා සිටිමු.” යනුවෙන් වැඩිදුරටත් දක්වා ඇත.






