/ Sep 05, 2026

පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ ජංගම කෙටි ආහාර වෙළඳාම ක්‍රමවත් කිරීමට නව වැඩපිළිවෙලක්!

පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය දෛනිකව විශාල පිරිසක් පැමිණෙන ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් වන හෙයින් එම පිරිස සඳහා කෙටි ආහාර වර්ග අලෙවි කිරීම සඳහා මේ වන විට අවිධිමත් ආකාරයෙන් ජංගම වෙළඳාමේ නිරත පිරිසක් ද සිටිති. එලෙස අවිධිමත් ආකාරයෙන් සිදු කෙරෙන කෙටි ආහාර වෙළඳාම විධිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් දියත් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර ඇත.

ඒ යටතේ හඳුනාගත් වෙළඳ මහතුන් සඳහා විධිමත් ජංගම වෙළඳ කුටියක් සහ ඊට අදාළ විශේෂ භාණ්ඩ කට්ටලයක් නොමිලේ ලබාදීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා ජංගම වෙළඳ කුටියක් සහ ඊට අදාළ භාණ්ඩ කට්ටල පිරිනැමීම ඊයේ (04) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී සිදු කරන ලදී. නෙස්ලේ ආයතනය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

මෙමගින් පාරිභෝගික ජනතාවට පිරිසිදු හා උසස් තත්ත්වයේ ආහාර වේලක් ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, නව මැනිං වෙළඳ සංකීර්ණය තුළ ජංගම කෙටි ආහාර වෙළඳාම ක්‍රමවත් කිරීම ද මෙහි අරමුණ වේ.

තවද, ලංකා සතොස ආයතනයේ අලෙවිසැලක්, ලංකා තොග වෙළඳ සංස්ථාවේ සහල් අලෙවිසැලක්, ලංකා හොස්පිටල් ආයතනයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ වර්තමානයේ කොළඹ නගරය ආශ්‍රිතව ජීවත්වන 15,000ක් පමණ වන චීන ජාතිකයන් සඳහා චීන වෙළඳ භාණ්ඩ ඇතුළත් වෙළඳසැලක් ස්ථාපනය කිරීම සඳහා මූලික සාකච්ඡාවක් ද එහිදී සිදු කරන ලදී.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා, නෙස්ලේ ආයතනයේ නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, මැනිං වෙළඳ සංකීර්ණයේ කළමනාකරු නුවන් තරංග මහතා, පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල කීර්ති මහතා, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top