විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ඊයේ (16) රාත්‍රියේ පැවැති සාකච්ඡාව සාර්ථක නොවූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු සඳහන් කළේ, සිසුන් බඳවා ගැනීම තවත් සෑහෙන කාලයකට කල්දැමීමට සිදුවේ යැයි මෙම සාකච්ඡාවේදී සිය සංගමයට තේරුම් ගිය බවය.
“සාකච්ඡාවලදී කිසිම විසඳුමකට එන්න ලැබුනේ නැහැ. අලුතෙන් සිසුන් ඇතුළත් කරගැනීම, විශ්වවිද්‍යාල ඇතුළේ සිසුන් වැඩිපුර ගතකරන කාලය, ආචාර්යවරුන්ගේ හිඟය වැනි කරුණු ගැන අපි වැඩි අවධානයක් යොමු කළා. නමුත් මීට අවුරුද්දකට පමණ පෙරදී අපි ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් පවත්වලා එහිදී ආපු යම් යම් එකඟතා මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උපකුලපතිවරුන්ගේ කමිටුව ඉදිරිපත් කරපු යෝජනාවලියක් තිබුණා.. සිසුන් බඳවාගැනීම වේගවත් කිරීම පිළිබඳව. පසුගිය අප්‍රේල් මාසයේත් අපි අගමැතිතුමිය සමග සාකච්ඡා කළා. නමුත් අද සාකච්ඡාවට යනකොට එතුමිය අපිට දැනුම්දුන්නා යවපු යෝජනාවලිය මේ වෙනතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබිලා නෑ කියලා. ඒක ගැන අපි පුදුමයට පත්වුණා. මෙතරම් වැදගත් කාරණයක් ගැන අවුරුද්දක් විතර අපි බලාගෙන හිටපු කාරණයක් මේ වෙනවිටත් අදාළ ස්ථානවෙත ලැබිලා නැති එක ගැන.” මහාචාර්ය රුචික ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර අවසානයේ සාකච්ජාව හරියට පිදුරු ගොඩේ ඉඳිකටු හොයනවා වැනි වැඩක් බවද ඔහු පැවසීය.
“මෙතන ආචාර්යවරු රටේ විවිධ ප්‍රදේශවලින් ඇවිත් රෑ 10 වෙනකම් මේ සාකච්ඡාව සිදුකළා. ඒකට හේතුව මේ අර්බුදය කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව අපිට තියෙනවා. හැබැයි ආණ්ඩුව පැත්තෙන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ සාකච්ඡා හරියට පිදුරු ගොඩේ ඉඳිකටු හොයනවා වගේ සාකච්ඡා. අධ්‍යාපනය ගැන කතා කරන්න ආණ්ඩුවට බැහැ. මොකද ඒ උනන්දුව ආණ්ඩුවට නැහැ. අනිවාර්යයෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග අපි තීරණය කරනවා.”





