දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.එය ඉදිරි පැය 24 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වය වැඩි වන බවයි. ඒ අනුව උතුරු අක්ෂාංශ 5 ත් 22ත් සහ නැගෙනහිර දේශාංශ 85ත් 100ත් අතර මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
මේ වනවිට එම ප්‍රදේශයේ ධිවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දී ඇත.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.






