/ Oct 01, 2026

කොළඹ වරායේ මත්ද්‍රව්‍ය බහාලුම් සිද්ධිය: SDIG රන්මල් ඇතුළු නිලධාරීන් රාජකාරිය පැහැර හැරලා

කොළඹ වරායේ බහාලුමක මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු අදාළ නිලධාරින් විසින් රාජකාරිය පැහැර හැරීක් සිදුකර ඇති බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයට අනුව අනාවරණය වී තිබේ.

පසුගිය අගෝස්තු මස 31 වන දින කොළඹ වරායේ බහාලුමක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනු ලැබූ අතර එම පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු බහාලුම් දෙකක් ශ්‍රී ලංකාවට අනායනය කර කොළඹ වරායේ ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට අගෝස්තු මස 14 වන දින තොරතුරක් ලැබී ඇති බවයි..

එම තොරතුර එදිනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත දන්වා තිබේ.

කෙසේවෙතත් අගෝස්තු මස 22 වන දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක නිලධාරියාට ද අදාළ තොරතුර ලැබී ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන අගෝස්තු 31 වන දින කොළඹ වරායට ගොස් රේගු නිලධාරින් සමග බහාලුම විවෘත කර මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති බවත් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීම සිදුකර ඇත්තේ, මුලිකවම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ විසින් බවත් අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරින් රාජකාරිය පැහැර හැරීම් සිදුකර ඇති බවටත් නොසැලිකිලිමත් ලෙස ක්‍රියාකර ඇති බවටත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇති අතර
ඒ අනුව අදාළ විමර්ශනයට අමතරව අපරාධ විමර්ශනයක් සිදුකිරීම සුදුසු බව පොලිස් විශේෂ විමර්ශනය ඒකකය විසින් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ වාර්තාවට අනුව රන්මල් කොඩිතුවක්කු මහතාට මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ලත් තොරතුර පිළිබඳ පියවර ගැනීමේදී අනාවරණය වී ඇති පැහැර හැරීම් සහ නොසැලකිල්ල සඳහා හේතු වී ඇත්තේ යම් පාර්ශ්වයකට වාසි සහගත තත්ත්තවයක් ඇති කිරීම සඳහා ද යන්න සොයා බැලීමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ තුළින් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා සංස්ථාපනය වන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top