/ Nov 17, 2026

කාවන්තිස්ස හස්තියාගේ වෙළඳපළ වටිනාකම දැනුම් දෙන්න – අධිකරණයෙන් නියෝගයක්

මියගිය කාවන්තිස්ස දළ ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධ තක්සේරු වාර්තාවක් ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව මහෙස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මහත්මිය නියෝග කර තිබේ.

ඒ අනුව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මගින් අදාළ වාර්තාව ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි ආරක්ෂක චතුර ගුණරත්න මහතාට නියෝග කර ඇති බව සඳහන්.

එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද එදිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.පී.එම්.ඒ. විජේසුන්දර මහතාට නියෝග කර තිබෙන අතර ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ විදුලිසැර වැදීමෙන් මියගිය දීගදන්තු එක ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 90ක් ලෙස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මීට පෙර තක්සේරු කර ඇති බවයි.

මේ අතර පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියදී කාවන්තිස්ස ඇතා මියයාම සම්බන්ධයෙන් ද අධිකරණයේ අවධානය යොමු වී තිබෙනවා.

ඖෂධ විෂ වීමක් හේතුවෙන් ඇතා මියගිය බවට සමාජයේ පවතින මතය පිළිබඳව ද නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමු කර ඇති අතර, මරණයට නිශ්චිත හේතුව අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් තහවුරු කිරීමට නියමිතයි.

මේ අතර කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top