ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද(01) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ශ්‍රී ලංකාවෙන් පැමිණි නියෝජිත පිරිස හමුවී තිබේ.
මෙම හමුවෙන් පසු අදහස් දක්වමින්, නියෝජිත පිරිස හමුවීමට ලැබීම සතුටක් බව ප්‍රකාශ කළ ආචාර්ය එස් ජයශංකර්, දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම් ශක්තිමත් කිරීම අරමුණු කරගත් “හොඳ සාකච්ඡාවක්” පැවැත්වූ බව ද සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රගතියට සහ සමෘද්ධියට සැමවිටම සහාය දෙන “විශ්වාසවන්ත හවුල්කරුවෙකු” ලෙස ඉන්දියාව ඉදිරියටත් කටයුතු කරන බවයි ඔහු තවදුරටත් තහවුරු කර ඇත්තේ.
එමෙන්ම මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (30) දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය හමුවිය. මෙම හමුවට දිල්ලි ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය අශීෂ් සූද් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගි වී තිබේ.
මෙහිදී දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විසින් වත්මන් කාලසීමාව තුළ ජනතාවගේ අවශ්‍යතා සහ සුබසාධනය වෙනුවෙන් මෙන්ම දිල්ලි නගරයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය ඇතුළු පිරිස විසින් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබීය.
විශේෂයෙන් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක වන විදුලි බස් රථ ව්‍යාපෘති, විදුලි වාහන ප්‍රවර්ධනය හා ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විදුලි බස් රථ ප්‍රවාහන පද්ධතිය පුළුල් කරමින් සිටින අතර, 2026 වසර තුළ විදුලි බස් රථ විශාල සංඛ්‍යාවක් එක් කර තිබෙන බවද මෙහිදී සඳහන් විය.
එමෙන්ම කාන්තාවන්ගේ සුබසාධනය, ආර්ථික සවිබලගැන්වීම සහ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
දරුවන්ගේ සහ ජනතාවගේ සුබසාධනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින සමාජ හා ආර්ථික වෙනස්කම්, ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින සුබසාධන වැඩසටහන් පිළිබඳවද ටිල්වින් සිල්වා සහෝදරයා විසින් අදහස් පළ කළේය.
විශේෂයෙන් රට පුරා තිරසාර පාරිසරික පිරිසිදුතාවක් ඇති කිරීම සහ මහජන ආකල්පමය වෙනසක් ඇති කිරීමයි සඳහා ගෙන යන “Clean Sri Lanka ” වැඩපිළිවෙළ පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.
මෙම හමුව දෙරටේ දේශපාලන හා පරිපාලන අත්දැකීම් මෙන්ම ජනතා සුබසාධනය හා සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ අත්දැකීම් හුවමාරු කරගැනීමට වැදගත් අවස්ථාවක් ලෙස දැක්වෙයි.




