මලයහ දෙමළ දරුවන් අධ්යාපනය හදාරන පාසලක් වන මතුරට රිලාමුල්ල අරුණෝදය හින්දු ප්රාථමික විදුහලේ ප්රධාන ශාලාව මේ වනවිට ගරා වැටී අවදානම්සහගත තත්ත්වයකට පත්ව ඇත.
වතු පාසලක් සේ තවමත් සැලකෙන රිලාමුල්ල අරුණෝදය හින්දු ප්රාථමික විදුහලේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ‘ලංකා ටයිම්ස්’ මාධ්ය කණ්ඩායම කළ සොයාබැලීමකදී මේ බව තහවුරු විය.
මතුරට වැවිලි සමාගමට අයත් භූමියක අරුණෝදය හින්දු ප්රාථමික විදුහල පිහිටා ඇති අතර අවදානම්සහගත ප්රධාන ශාලාව ඇත්තේ පංති කාමරවලට යාබදව ය.
මෙම ප්රධාන ශාලාවේ විශේෂත්වය වන්නේ පැරැණි තේ කම්හලක ඉස්ටෝරුවක සොල්දරයක් ඒ සඳහා භාවිත කිරීම ය.
විදුහල්පති වී.විජේන්ද්රන් මහතා පවසන්නේ පාසලට නිසියාකාර ගොඩනැගිල්ලක් නොමැති නිසා මෙම ශාලාව පාවිච්චි කිරීමට සිදුව ඇති බවයි.
මෙම ශාලාවේ පියගැටපෙළෙහි සිට ශාලාව පුරාම පැතිරී ඇති දූවිලි තට්ටුව හා කුරුල්ලන්ගේ වසුරු කුඩා දරුවන්ගේ ශ්වසනයට අවහිරතා ඇති කරන තත්ත්වයක් එහිදී ලියුම්කරුවන්ට නිරීක්ෂණය විය.
තවද ශාලාවේ ජනෙල් පියන් බොහෝමයක් තද සුළං හා වැසි හමුවේ කඩා වැටී ඇති බැවින් වර්ෂාව වැටෙන විට එයට වැසි ජලය ද ගලා එයි.
මලයහ දෙමළ ජනයාගේ අයිතින් වෙනුවෙන් මැදිහත් වන අයිපෙන් සංවිධානයේ විධායක අධ්යක්ෂ ජීවරත්නම් සුරේෂ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චෝදනා කළේ මෙම පාසල ගැන අධ්යාපන බලධාරීන්ගේ අවධානයක් යොමු වී නැති බවයි.
පාසලේ වත්මන් තත්ත්වය පැහැදිලිවම මලයහ දරුවන්ගේ අධ්යාපන මෙන්ම සෞඛ්ය අයිතිය ද උල්ලංඝනය කිරීමක් යැ යි කී හෙතෙම ඡන්ද ව්යාපාරයේදී ලබාදුන් ප්රමුඛතාවයෙන් මලයහ දරුවන්ගේ අධ්යාපන අයිතිය ගැන කටයුතු කිරීමට වත්මන් ආණ්ඩුවට ද හැකිව නැතැයි කීවේ ය.
පාසල් දරුවන්ගේ මවුපියන් ඉල්ලාසිටින්නේ පරිත්යාගශීලීහු වෙත් නම් ඊට නිසි ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ආධාර උපකාර කරන හැටියටයි.
මානෙල් ඩේවිඩ්





