සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටියදී, ෆේස්බුක් (Facebook) සමාජ මාධ්ය ජාලය ඔස්සේ ඉස්ලාම් දහමට සහ මුහම්මද් නබි නායකයාට අපහාස වන අයුරින් අදහස් පළ කළ බවට චෝදනා ලබා මරණ දණ්ඩනය නියම වී සිටින 24 හැවිරිදි ශ්රී ලාංකික සංක්රමණික අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය ඉවත් කර ඇති බවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර පවසයි.

“2026 ඔක්තෝබර් 13 වන දින, සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් අනෝජන් සිවරාසා (Anojan Sivarasa) වෙත පනවා තිබූ මරණ දඬුවම් තීන්දුව ඉවත් කරන ලදී.
මෙය ශ්රී ලංකා රජය විසින් අඛණ්ඩව ගෙන ගිය රාජ්ය තාන්ත්රික හා නීතිමය උත්සාහයන්හි ප්රතිඵලයකි.
සෞදි අරාබි රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් මගේ අවංක කෘතඥතාව පළ කරන අතර, අපගේ තානාපතිවරයා, විදේශ අමාත්යාංශයේ ලේකම් සහ නිලධාරීන්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ සාමාජිකයින් මෙන්ම ශ්රී ලංකා සහ සෞදි නීති කණ්ඩායම් මේ වෙනුවෙන් කැපවීමෙන් කළ උත්සාහය බෙහෙවින් අගය කරමි.”





