/ Oct 16, 2026

කාවන්තිස්සගේ ජීවිතය බේරාගැනීමේ විශේෂ ප්‍රතිකාර මෙහෙයුම අඛණ්ඩව – පිරිවැය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේන ඉදිරිපත් වෙයි

හදිසියේ රෝගාතුර වූ, ප්‍රදේශවාසීන් විසින් ‘කාවන්තිස්ස’ ලෙස හඳුන්වනු ලබන දැවැන්ත හස්තියාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායම් විසින් පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන දැඩි සත්කාර ප්‍රතිකාර මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පරිසර අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විශේෂ මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදාවේ පූර්ණ තාක්ෂණික හා ආරක්ෂක සහාය ද ලබා දී ඇත.

ඒ අනුව හස්තියාට අවශ්‍ය අඛණ්ඩ ඖෂධ සැපයීම, කායික ස්ථාවරත්වය පවත්වා ගැනීම මෙන්ම හදිසි අවස්ථාවකදී අවශ්‍ය විය හැකි සියලු ක්‍රියාමාර්ග අමාත්‍යතුමාගේ උපදෙස් මත කල්තියා සූදානම් කර ඇත. ඒ අනුව හදිසි එසවීමක දී අවශ්‍ය වන බෙල්ට්, ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම්ද සූදානම් කර ඇත.

කාවන්තිස්ස හස්තියා වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන්නේ මෙරට ප්‍රමුඛතම සත්ත්ව වෛද්‍ය විශේෂඥයින් එක්ව සකස් කරන ලද විද්‍යාත්මක ප්‍රතිකාර සැලැස්මකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රවීණ පශු වෛද්‍යවරුන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක ඒකාබද්ධ දායකත්වයෙන් මෙම ක්‍රමෝපායික සැලසුම සම්පාදනය කර ඇති අතර, ක්ෂේත්‍රයේ ප්‍රතිකාර කටයුතු ඒ අනුව සක්‍රීයව සිදු කෙරෙමින් පවතී.

මේ අතර, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සහ පරිසර අමාත්‍යවරයා අතර අද දින (16) පැවති සාකච්ඡාවක දී හස්තියාගේ ඉදිරි සුවපත්භාවය වෙනුවෙන් අවශ්‍ය වුවහොත් විදේශීය විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට අනුග්‍රහය සහ සහාය දැක්වීමට ඔහු සිය එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව, දේශීය විශේෂඥ මණ්ඩලයේ වෛද්‍ය නිර්දේශ සහ අවශ්‍යතාව මත පදනම්ව, කඩිනමින් විදේශීය පශු වෛද්‍ය විශේෂඥ සහාය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top