දැවැන්ත ණය පොලී සහ පරිපාලන වියදම් හේතුවෙන් රටේ සැබෑ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජයට තවමත් ඇත්තේ සීමිත ඉඩකඩක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
2027 වසර සඳහා ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පතේ මුදල් බෙදීයාම් සලකා බලා වෙරිටේ රිසර්ච් මේ බව අවධාරණය කරයි.
ඊට අනුව රජයේ මුළු වියදම්වලින් 43.1%ක් එදිනෙදා වියදම් සඳහා ද 34.2%ක් ණය පොලී ගෙවීම සඳහා ද වෙන්කර ඇති අතර, නව සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කර ඇත්තේ සියයට 22.7ක ප්රතිශතයක් පමණක් යැයි එම ආයතනය කියයි.
ඒ අනුව, එදිනෙදා වියදම් සඳහා රුපියල් බිලියන 3,322ක් ද, ණය පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,461ක් ද, නව කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 1,753ක් ද වෙන්කර තිබේ.
2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එහි සඳහන් මුදල් වෙන්කිරීම් අනුව වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්යාංශය වන්නේ මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයයි.
එම මුදල රුපියල් බිලියන 857කි.
කෙසේ වෙතත්, එම මුදලින් සැලකිය යුතු කොටසක් දැනටමත් සිදුවන එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා යොදා ගැනීමට නියමිතය.
එදිනෙදා වියදම් වැඩිම ප්රමාණයක් සහිත අමාත්යාංශය වන්නේ රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයයි.
මේ අතර, ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශය සඳහා රුපියල් බිලියන 500කට ආසන්න මුදලක් වෙන්කර තිබේ. එම මුදලින් වැඩි කොටසක් නව කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතව තිබීම ද විශේෂත්වයකි.
එහෙත් වර්තමාන ගෝලීය තත්ත්වයන් හමුවේ ශ්රී ලංකාවට වැදගත් වන විදේශ කටයුතු අමාත්යාංශය සඳහා වැඩිම මුදල් වෙන්කිරීම් සහිත අමාත්යාංශ අට අතරටවත් ඇතුළත් වීමට නොහැකි වී තිබේ.
මෙම මුදල් වෙන්කිරීම් අනුව පෙනී යන්නේ රජයේ වියදම්වලින් විශාල කොටසක් පවතින පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට සහ පැරණි ණය සඳහා පොලී ගෙවීමට යොමු වන බවයි.
එම තත්ත්වය තුළ නව සංවර්ධන ව්යාපෘති, යටිතල පහසුකම් සහ දිගුකාලීන ආර්ථික වර්ධනය සඳහා රජයට වෙන් කළ හැකි මුදල් ප්රමාණය සීමා වන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විග්රහය පෙන්වා දෙයි.
මානෙල් ඩේවිඩ්





