/ Oct 19, 2026

අනුර විපක්ෂයේ සිටියා නම්…!

දිනපතා ඇද හැළුණු වර්ෂාවකින් පසුව බොහෝදෙනා සූදානම් වූයේ උණුසුම දැනෙන ශනිදාවකට ය. වර්ෂාවක සේයා තිබුණු නමුදු, ඊට කලියෙන් පැවැති දින ගණනාවක් මුළුල්ලේ ඇද හැළුණු වර්ෂාව හෝ ඒ ආසන්නයටවත් යන වර්ෂාවක් ඇද හැළෙන බව පෙනෙන්නට නොතිබිණි. ඒ අතරවාරයේ ම දේශපාලන පොරපිටිය උණුසුම් වී තිබුණි. පිරිසක් අනුර කුමාර දිසානායක සංඝයා බේදභින්න කරන්නේ යැයි චෝදනා කළ අතර, ඉහළ පුටුවල මහා සංඝයා, නීතිය නොතකා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු යැයි අවධාරණය කළහ. ඒ අතරවාරයේ සුපුරුදු පරිදි සමාජ මාධ්‍යයේ, එකම රටේ දෙපිරිස, සිල්වත් භික්ෂූන් සහ දුසිල්වත් භික්ෂූන් ගැන දෙපිල බෙදී තර්ක කරන්නට විය. මේ අතරවාරයේ දී සිකුරාදා සන්ධ්‍යාව වන විට කාවන්තිස්ස ඇතුන් මියගිය පුවතින් බොහෝ දෙනා කම්පාවට පත්ව සිටියහ. දුටුගැමුණු කුමරුන්ගේ පියරජු ගැන පමණක් දැන සිටි බොහෝ දෙනා මේ අභාවයෙන් කෝපාවිෂ්ට වී සමාජ මාධ්‍යයේ දෙස් දොවොල් තියමින් සිටියහ. ශනිදාවේ මධ්‍යහ්නයේ විදුලිය ඇණහිටින්නේ මේ අතරවාරයේ දී ය.

මේ අතර අනුර කුමාර දිසානායකගේ, ෆේස්බුක් පෝස්ට් එකකට බොහෝදෙනා වාර්තාගත ලෙස සිනාසෙමින් සිටින්නේ, ෆේස්බුක් අධිකරණයට ඕනෑම වීරයකු, දුෂ්ටයකු කිරීමට පැය 24ක් වුව ද වැඩි බව නැවත නැවතත් පසක් කරමිනි.

මෙවැනි පසුබිමක, කාවන්තිස්ස මරණයට පත්වෙද්දි, අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටියා නම්, කුමක් කියාවිද යන උපකල්පනය මත පදනම්ව සමාජ මාධ්‍යයේ බොහෝදෙනා අදහස් දක්වමින් සිටිති. එයින් කාරණා දෙකක් පසෙක් වෙයි. එනම් අනුර කුමාර දිසානායක දැන් විපක්ෂයේ නොවන බවත්, ඔහු ජනාධිපති බවත් ඉන් එකකි. සමාජ මාධ්‍යයේ සිටින බොහෝදෙනාට අනුර කුමාර විපක්ෂයේ සිටියා නම් කාවන්තිස්සගේ මරණය ගැන කුමක් කියාවිද කියා උපකල්පනය කිරීමට සිදුවන්නේ, විපක්ෂයක් නැති නිසා වීම දෙවැන්නයි.

දේශපාලනය දන්නේ නම්, අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටියා නම් කුමක් කරාවිද කියා උපකල්පනය නොකර, මේ මරණය සම්බන්ධයෙන් ආණ්ඩුව වගවීමට ලක් කිරීමට පෙරට ආ යුතු ය. එවැන්නක් කිරීමට තරම් ශක්තියක් ඇති, අවංක, ප්‍රාමාණික දැනුමක් ඇති, බුද්ධිමත් සහ විචාරශීලි විපක්ෂයක් නොමැති වීම රටේ අභාග්‍යයයකි.

වත්මන් ආණ්ඩුවේ මධු සමය නිම වී දැන් බොහෝ කලක් ගොසින් තිබේ. මේ ආණ්ඩුව නැවත නැවතත් තේරුම්ගත යුතු සත්‍යයක් තිබේ. මේ අසිරිමත් රටේ ජනතාවට තරම් තදියමක් හදිසියක් වෙනත් කිසිදු රටක පුරවැසියකුට ඇතැයි මම නොසිතමි. අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු තමන් මැජික්කරුවකු නොවන බව ප්‍රකාශ කළ ද, මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ මැජික් ය. අද බලයට පත්ව හෙට ප්‍රතිඵල ගෙනැවිත් දිය යුතු ය. ඒ නිසාම කාලයෙන් කාලයට දියසෙන් කුමාරවරු පහළ වී පරළ වී යන්නේ එහෙයිනි. ඒ දියසෙන් අර්බුදයේ, හොඳම ඉනිම ක්‍රීඩා කළේ මහින්ද රාජපක්ෂ ය. ප්‍රේමදාසට දිගු ඉනිමක් ක්‍රීඩා කළ නොහැකි විය. ජේ.ආර්. අලුත් පන්දුවේ වාසිය ලබාගත් අතර චන්ද්‍රිකාට, පිතිකරු ලැයිස්තුවේ අනෙක් අයගේ වාසියත්, පිටියේ වාසියත් හිමි විය.

දෙවැන්න නම්, අනුර කුමාර දිසානායකත්, ජාතික ජන බලවේගයත් බලයට පත්වූයේ, ඔවුන්ට ඇති සුවිශේෂී කැමැත්තක් නිසා හෝ ජනතාවට මහ ලොකු වෙනසක් කිරීමට ඇති නිසා හෝ පුනරුදයක් හෝ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නිසා ම නොවේ. එවැනි අවශ්‍යතාව ඇති පිරිස මහජනතාවගෙන්, විශේෂයෙන්ම සීමිත පුරවැසි සංඛ්‍යාවකි. දෙන්නේ කාටදැයි තෝරාගැනීමට නොහැකි වූ, සියල්ල එපා වූ, ඉච්ඡාභංගත්වයට පැමිණි ජනතාවගේ ඡන්දයකි.

මේ සියල්ල මධ්‍යයේ මේ රටේ ඇතැමෙක් මේ වනවිට හැසිරෙන්නේ මේ ආණ්ඩුව නිදහසින් පසු බිහි වූ පළමු ආණ්ඩුව ලෙසත්, මේ ආණ්ඩුව පත් වූ සැණින් සියලු ප්‍රශ්න විසඳෙනවා යන සිතුවිල්ලේ ය. එමෙන්ම වත්මන් ආණ්ඩුවට බලය දුන් ඇතැමුන් බලාපොරොත්තු වන්නේ ද ඉතාම ඉක්මනින් ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියක් ය. එය එසේ අවශ්‍ය නම්, කලින් පරිදි ඉතා ඉක්මනින් ප්‍රශ්න විසඳීමට අවශ්‍ය නම්, මේ ආණ්ඩුවට ඡන්දය දිය යුතු නොවේ.

ඒ වගේම රටේ ජනතාවගේ සැලකිය යුතු ප්‍රජාවකට පාලන තන්ත්‍ර ගැන, අධිකරණයක කටයුතු සිදුවන ආකාරය, රාජ්‍ය පරිපාලනය ගැන ඇත්තේ අල්ප අවබෝධයකි. එනැයින්ම අප තේරුම් ගත යුතු තවත් කරුණක් තිබේ. අවුරුදු ගණනාවක් තිස්සේ වැරැදි ක්‍රමවේද භාවිතය, අලස කම, රාජ්‍ය සේවය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, නිසි ක්‍රමවේද නොමැති කම හෝ ඒවා එලෙස යොදානොගැනීම ආදී ව්‍යුහගත සහ ව්‍යුහාත්මක ප්‍රශ්න ගණනාවක් තිබේ. ඒවා එක රැයින් එක අවුරුද්දකින්, විස‌ඳෙන්නේ නැත.

එය එසේ තිබියදී, ආණ්ඩුව පහත මාලයට බැසිය යුතු ව තිබේ. ජනතාව සමඟ තිබෙන සමාජ කොන්ත්‍රාත්තුවට ගරු කරමින්, ගත් පියවර, ගෙන ඇති ක්‍රියාමාර්ග, ආදී වශයෙන් නිසි සන්නිවේදනයක් කළ යුතුව තිබේ. කාවන්තිස්සගේ මරණයට කළ හැකි උපරිම සාධාරණය එයයි. මෙතෙක් ගෙන ඇති පියවර මොනවාද, ඒවායේ ප්‍රගතිය මොනවාද, සාර්ථක-අසාර්ථක වූයේ මොනවාද, ආදී වශයෙන් මහජනතාව සමඟ සන්නිවේදනය කරමින් පාරාදෘශ්‍ය බව රැක ගත යුතු ය.

වත්මන් ආණ්ඩුව‌ තුළ යම් ආකාරයක ප්‍රගතියක් පෙන්නුම් කළ හැකි වුව ද, දිගින් දිගටම පෙන්වමින් සිටින්නේ ‘රාජපක්ෂ’ පන්නයේ පාලනයකි. රාජපක්ෂ බලයට ගෙන ඒමේදී ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂී භූමිකාවක් රඟපෑවේ ය. භාරදූර කාර්යභාරයක් ඉටු කළේ ය. වෙහෙර ගිලපු එකාට අග්ගලාවක් කජ්ජක්ද අපේ පැරැන්නන් කියා තිබේ. 1971, 88/89, චන්ද්‍රිකා, මහින්ද, සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන දක්වා ජනතා විමුක්ති පෙරමුණ සුළු පටු දේශපාලන පක්ෂයක් නොවන බව පසක් කර තිබේ. වෙහෙරත් කුම්බලා මාළු වැනි ය. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ ඉතිහාසය මොනයම් ආකාරයකින් ප්‍රතිනිර්මාණය කිරීම නොව, 1948 සිට පැවැති සියල්ලටම වඩා ඉහළින් ප්‍රමිතිය පවත්වා ගන්න වගවීමත් පාරදෘශ්‍යභාවයත් නීතියේ ආධිපත්‍යයත් තහවුරු කළ ආණ්ඩුවකි. සෙමින් ගමනකට මේ රටේ බුද්ධිමත් පුරවැසියා විස්සප නොවේ. එහෙත් සෙමෙන් ගමන අපට දක්නට තිබිය යුතු ය. එහි වගවීම සහ විනිවිදභාවය සහතික කළ යුතු ය.

කුම්භලා මාළු කෑවා නම් දිරවපන් යන්න අසා නොගන්නා තැනට වැඩ කිරීමට මේ ආණ්ඩුව නිහතමානී සහ යටහත්පහත් විය යුතු ය.

ආර්.කේ. වීරසේකර

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top