ශ්රී ලංකාවේ ආර්ථිකයට ශතවර්ෂ දෙකකට අධික කාලයක් මුළුල්ලේ විශාල දායකත්වයක් සපයන මලෛයහම් දෙමළ ප්රජාව මුහුණ දෙන අතිශය දුෂ්කර ජීවන වටපිටාව, ස්වාභාවික ව්යසනයන් හමුවේ තවදුරටත් දැඩි ඛේදවාචකයක් බවට පත්ව තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් පසු මධ්යම කඳුකරයේ සහ සබරගමුව පළාතේ බොහෝ ප්රදේශ නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැනුණද, වතුකරයේ ජීවත් වන ජනතාවට සහන සැලසීමේ දී තවමත් බරපතළ බාධාවන් සහ ප්රමාදයන් මතුව තිබේ. කෑගල්ල දිස්ත්රික්කයේ අරනායක ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෝතල්ඔය වත්ත, මෙම සමස්ත ජාතික ගැටලුවේ අතිශය සංවේදී හා බරපතළ සංකේතයකි.
මලෛයහම් ජනයා මුහුණපාන ගැටලු පිළිබඳව කොළඹ කේන්ද්රීය මාධ්යවලට වාර්තා වන්නේ අල්ප වශයෙනි. ඔවුන්ගේ ජීවිත පිළිබඳ සැබැවින්ම අවබෝධ කර ගැනීමට නම් අදාළ ප්රදේශවලට යා යුතුය. පසුගිය දිනෙක අප මගට බැස්සේ ඒ දුෂ්කර අරමුණ වෙනුවෙනි.
වංගගිරියට පිටත්වීම!
උදෑසන 4.30 නාවින්නෙන් මහනුවර බසයට ගොඩවුණු අපට 7.40 පමණ වනවිට මාවනැල්ලට ළඟාවීමට හැකි විය. ඉන්පසු මාවනැල්ලෙන් අරනායක බසයක නැග දික්පිටිය දක්වා ගියෙමු. දික්පිටිය යනු මාවනැල්ලත් අරනායකත් අතර ඇති කුඩා නගරයකි. එහි ළඟා වනවිට උදෑසන 9ට ආසන්න වී තිබුණි. අපගේ ගමනාන්තය වන දෝතළු ඔය වෙත යාමට තවත් එක් බස් රථයක යා යුතුව තිබුණි. නමුත් ඒ දක්වා යන බස් රථයක් ඒ කුඩා බස් නැවතුම්පොළේ පෙනෙන්නට නොවිණි. පැයකට ආසන්න කාලයකට පසු පැමිණි බසය ද අපේ ගමනාන්තය දක්වා නොයන බවත් අප බලාපොරොත්තු වූ ස්ථානය වෙත යන බස් රථයක් නැවත එහි පැමිණෙන්නේ පෙරවරු එකොළහට පමණ බවත් දැනගන්නට ලැබුණි. ඒ බසය පැමිණෙන තුරු එහි රැඳී නොසිට එහි තිබූ බස් රථයේ නැගී අම්බලකන්ද දක්වා ගියෙමු. එතැන සිට අපේ ගමනාන්තය වෙත තවත් කිලෝමීටර් 7ක් පමණ යා යුතුව තිබුණි. එහෙයින් අපේ ගමන් සගයා වන එස් සදාසිවම් අම්බලකන්දේ සිට දෝතළුඔය දක්වා අප කැටුව යාමට ත්රිරෝද රථයකින් අම්බලකන්ද වෙත පැමිණියේය. ඒ වන විටත් දෝතළුඔයට ළඟා වීම කෙතරම් දුෂ්කර දැයි අපට වැටහෙමින් තිබුණි.
අතරමග නැවතී කිලෝ මීටර් දෙකක් තුනක් තරම් දුරට දෝරේ ගලා ගිය කන්දක නෂ්ටාවශේෂ පෙන්වූ සදාසිවම්, දිට්වා ආපදාවත් සමග ප්රදේශයේ ප්රධාන ගමනාගමන මාර්ග නායගොස් පූර්ණ ලෙස ,,,විනාශ වීම නිසා දෝතළුඔය වතුයාය බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා වී තිබුණු බව පැහැදිලි කළේ ය. අප එහි යන විටත් ඒ පොදු ප්රවාහන සේවා යථාතත්ත්වයට පත් වී නොතිබුණි. පොදු ප්රවාහන සේවා ඇණහිටීම හේතුවෙන් දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාළ වී තිබූ අතර, හදිසි අසනීප තත්ත්වයන්හිදී රෝගීන් කිලෝමීටර් 14කට ආසන්න දුරක් පයින් ගෙන යාමට සිදුවීම නිසා වටිනා මිනිස් ජීවිත පවා අහිමි වී යාමේ අතිශය කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව ද දැනගන්නට ලැබුණි.
දිට්වා ආපදා සමයේ සහ ඉන් පසු දෝතල්ඔය ගම් වැසියන් මුහුණ දුන්, මුහුණදෙන දුෂ්කරතා සම්බන්ධයෙන් දෝතල්ඔය වත්තේ පදිංචිව සිටින අප ගමන් සඟයා වූ සෙල්වරාජ් සදාසිවම්(38) අදහස් දැක්වූයේය.
‘කිසි කෙනෙක් උදව්වට ආවෙ නැහැ’
“පසුගිය වසරේ ඇතිවුණු දිට්වා ආපදාවෙන් අපිට විශාල කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි අරණායක ඉඳලා දෝතල්ඔයට එන පාර සම්පූර්ණයෙන්ම නාය ගිහිල්ලා අපේ වත්තට කිසිම වාහනයක් එන්න බැරි තත්ත්වයක් උදා වුණා. පොදු ප්රවාහනය නැත්තටම නැතිවුණා. ඒත් අපිට කිසි කෙනෙක් උදව් කරන්න ආවේ නෑ. ඊට පස්සේ පාරවල්වලට වැටිලා තිබුණු පස් ටික අයින් කරවා ගන්න අපිට සිද්ධ වුණා උද්ඝෝෂණ පවා කරන්න.තවමත් වත්තෙ මිනිස්සු එකතු වෙලා කොට දාලා හදපු පාලම් උඩ තමා වාහන ගමන් කරන්නේ.
අසනීප වෙන කෙනෙක් රෝහලට ගෙනියන්න බැරි තත්ත්වයක් උදාවුණා. ඇතැම් රෝගීන් මරණයට පත් වුණා ප්රතිකාර නැතිව. අපි ටවුමට යනවා නම් කිලෝ මීටර් දහයක් දුර අම්බලා කන්දට පයින් ගිහින් යන්න ඕන. අපේ දෝතල්ඔය වත්තේ පවුල් 47ක් අද අධි අවදානම් පවුල් විදියට නම් කරලා තියෙනවා. ඒත් ඒ මිනිස්සු ඒ නිවාසවලම ජීවත් වෙනවා. හදිසි ආපදා අවස්ථාවක වුණත් අපිට යන්න සුදුසු ස්ථානයක් නෑ.”

සෙල්වරාජ් සදාසිවම්
දෝතල්ඔය වත්තේ පවුල් 45කගේ නිවාස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් අධි අවදානම් ලෙස නම් කර තිබුණද, අද වන විටත් ඔවුන්ට තාවකාලිකව හෝ රැඳී සිටීමට සුදුසු සංක්රමණික කඳවුරක්, පොදු ස්ථානයක් හෝ විකල්ප භූමියක් නොමැති කමින්, සිය ජීවිත පරදුවට තබා එම අධි අවදානම් නිවාසවලම දිගටම පදිංචිව සිටීමට සිදුව ඇත.
බැලු බැලු අත අවදානම
තද වැසි පවතින අවස්ථාවලදී නායයෑමේ තර්ජනයට ලක්ව ඇති නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස බලධාරීන් දැනුම් දී තිබුණ ද, එම ස්ථාන වෙත ළඟා වීමට පවා සිදුවන්නේ නායයෑම් අවදානම සහිත අධි අවදානම් කලාප පසු කරමින් වීම තවත් බරපතළ ගැටලුවකි. “මිලි මීටර් 75ට වඩා වැස්සොත් අපිට අයින් වෙන්න කියලා කිව්වා. ඒත් අපේ ගෙවල් පේළිය දෙපැත්තෙන්ම තියෙන කඳු අධි අවදානම් කියලා තියෙන්නෙ. වහින වෙලාවට ගේ ඇතුළෙ ඉන්නත් බයයි. එළියට බැහැලා පරිස්සම් ඇති තැනකට යන්නත් බයයි. අපිට වහින වෙලාවට යන්න කියලා තියෙන්නේ ෆැක්ටේරියට. ඒකටත් කිලෝ මීටර දෙකකට කිට්ටු වෙන්න දුරක් යන්න තියෙනවා. අතරමග හැමතැනම අධි අවධානම් කලාප. ෆැක්ටේරියේ උඩ තට්ටුවේ පුංචි දරුවෝ තියාගෙන ඉන්න අමාරුයි. වැඩ කරද්දි උඩ තට්ටුවම දෙදරනවා. පුංචි දරුවෝ නිදිකරවන්න බැහැ. ආරක්ෂිත නැහැ. යට මැෂින් තියෙද්දි උඩ ඉන්න බයයි. හරියට වැසිකිළි කැසිකිළි පහසුකම් නැහැ. ඇඳුමක් මාරු කරගන්නවත් තැනක් නැහැ.” කුඩා දරුවෙකුගේ මවක් අප හා පැවසුවාය.
මිලි මීටර් 75ට අධික වර්ෂාපතනයක් සහිත දිනයක දී ඉවත් වීමට ඒ බව ඔවුන් හඳුනාගන්නේ කෙසේද යන්න අප විමසූ විට එක් අයෙක් ඔවුන්ගේ නිවෙස් පෙළේ එක් නිවෙසක් තුළට ගොස් වර්ෂාමානයක් රැගෙන පැමිණියේය. ඒ වන විටත් දහවල් දොළහ පසුවී තිබුණු අතර දවස ආරම්භයේ පටන් වරින් වරෙන් සිහින් පොද වැසි ඇද හැලෙමින් තිබුණද අර නිවස තුළ තිබුණු වර්ෂාමානයට ඒවා ගණනය නොවුණි. නිවෙස තුළින් ගෙන එන වර්ෂාමානය දෙස අප මවිත වී බලනු දුටු ඔහු “හයියෙන් වහින වෙලාවට එළියෙන් තියෙනවා” පැවසුවේ අප මවිත දුරලනු වස් ය. එයින් අපට පසක් වූයේ ඔවුන්ට අදාළ උපකරණ ලබා දුන්නද නිසි අවබෝධය, අධ්යාපනය ලබා දීමට කටයුතු කර නොමැති බවයි.

අටෝරාසියක් ගැටලු
සිහින්ව වැටුණු පොද වැස්සේ වැහි බිඳුවල බර මඳක් වැඩි වූයෙන් අපි ඒ නිවාස පෙළෙහි නිවසකට ගොඩ වුණෙමු. නිවැසියන්ගේ සංග්රහ භුක්ති විඳින අතරතුර නැවතත් ඔවුන් හා කතාවට වැටුණෙමු. ඒ නිවසේ එක් රොක් වූ අහල පහළ නිවැසියන් දිට්වා හේතුවෙන් ඔවුන්ට පැනනැගී ඇති අටෝරාසියක් ගැටලු පවසන්නට වූහ. බොහෝ දෙමාපියෝ තම දරුවන්ගේ අධ්යාපනයට සිදු වූ බලපෑම් පිළිබඳ කරුණු පැහැදිලි කළෝය.
“වහින දවසට බස් වැඩ කරන්නේ නැහැ. මොකද අපේ ගම වගේම ගමට එන පාරත් අධිඅවදානම් නිසා. බස් එකට ඩිපෝවෙන් අපේ ගමට එන්න එපා කියලා තියෙන්නේ. මොකද දිට්වා ආව වතාවෙත් අපේ ගමේ බස් එක මාස හයක් විතර හිර වෙලා තිබුණා. ගමේ ඉස්කෝලෙ තියෙන්නෙ හතේ පන්තියට විතරයි. ඉන්පස්සෙ ටවුමෙ ඉස්කෝලෙට යන්න ඕන. වැස්ස දවසට ගමේ ඉස්කෝලෙට උගන්නන්න ගුරුවරුන්ට එන්න විදියක් නෑ. ටවුමෙ ඉස්කෝලෙට යන ළමයින්ට යන්න විදියක් නෑ. දවස් දෙක තුන වහිද්දි ළමයි ගෙවල්වලට වෙලා ඉන්නවා. දවස් ගණන් පාඩම් මගඇරුණම ළමයින්ට උගන්නන ඒවා තේරෙන්නෙ නෑ කියනවා. අපේ ආර්ථික ප්රශ්නත් එක්ක උපකාරක පන්ති දාන්න හැකියාවක් නෑ. සමහර දවසකට උදේ පායලා තිබිලා ඉස්කෝලෙ යැව්වට පස්සෙ වහිනවා. බස් එක එයිද නැද්ද? පාරට පස් වැටිලද කියලා ළමයි දකින කල් ඇඟේ ලේ නැතුව ඉන්නෙ.” පී. පද්මිණී පැවසුවා ය.
අම්බලකන්දේ සිට දෝතල්ඔය දක්වා එන ගමනේ දී නාරංගල ප්රදේශයේදී උදෑසන හමු වූ දරුවෙකුගේ පියෙක් පැවසුවේ දිනපතා ත්රිරෝද රථයකට රුපියල් දහසක මුදලක් ලබා දී මෙවර අපොස සාපෙළ පෙනී සිටීමට නියමිත තම දරුවා පාසලෙන් රැගෙන එන බවයි.

අකුරේ අයිතියත් අනතුරේ
මෙම නිවාස සහ භූමි අනාරක්ෂිතභාවයට අමතරව, වතුකරයේ දරුවන්ගේ අධ්යාපන අයිතිය අහිමි වීමද පරම්පරා ගණනාවක් තිස්සේ පැවත එන තවත් දැවැන්ත ඛේදවාචකයකි. නාමිකව ක්රියාත්මක වන දෝතල්ඔය දෙමළ ප්රාථමික පාසලේ ප්රාථමික අධ්යාපනයෙන් පසු ද්විතීයික අධ්යාපනය සඳහා නගරයේ පාසලකට යාමට කිලෝමීටර් 14කට ආසන්න දුරක් යා යුතුය. ඒ අතිදුෂ්කර හා අනාරක්ෂිත මාර්ගවල පයින් හෝ අධික බස් ගාස්තු ගෙවමින්ය. මෙම අතිශය පීඩාකාරී අධ්යාපනික පරිසරය නිසා වතුකරයේ බහුතරයක් දරුවන්ට සාමාන්ය පෙළ හෝ උසස් පෙළ දක්වා අධ්යාපනය ලැබීමේ මූලික අයිතිය අහිමි වී යයි. එහි ප්රතිඵලයක් ලෙස, ඔවුන්ට කුඩා අවධියේදීම අධ්යාපනයෙන් සමුගෙන, සිය දෙමව්පියන් මෙන්ම නැවතත් වත්තේ දළු කැඩීමට හෝ අවම වැටුප් සහිත කම්කරු රැකියාවලට යොමු වීමට සිදු වේ. මෙය කලක පටන් පවතින විශම චක්රයකි.
සිවිල් සංවිධාන සහ මලෛයහ ප්රජා නායකයන් පෙන්වා දෙන්නේ කෙටිකාලීන සහන දීමනාවලින් ඔබ්බට ගිය පූර්ණ සමාජීය සහ ආර්ථික ප්රතිසංස්කරණයක් අවශ්ය බවයි.
වතුකරයේ ජනතාව “වතු පද්ධතියෙන්” මුදවාගෙන, විධිමත් ලිපිනයන්, පානීය ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් සහිත “නව ගම්මාන” ලෙස ස්ථාපිත කරමින් තනි නිවාස සහ ඉඩම් අයිතිය ලබාදීම කළ යුතු බව iPEN සංවිධානයේ විධායක අධ්යක්ෂ ජීවරත්නම් සුරේෂ් පැවසුවේ ය.
මෙම මලෛයහ ප්රජාව අතුරින් තවමත් විශාල පිරිසක් කිසිදු රජයේ සහනයක් හෝ ස්ථිර නවාතැනක් නොමැතිව, මූලික මානව හිමිකම් පවා අහිමි වෙමින්, පරම්පරා ගණනාවක් තිස්සේ පැවත එන නොසලකා හැරීම් මැද අධිඅවදානම් සහිත භූමිවල අනාරක්ෂිත ලෙස ජීවත් වෙති. මලෛයහම් දෙමළ ප්රජාව මුහුණ දෙන මෙම ඛේදනීය තත්ත්වය පිටුපස ඇති බරපතළම කාරණය වන්නේ ස්වාභාවික ව්යසනයක් හමුවේ පවා ඔවුන් මුහුණ දෙන ක්රමානුකූල නොසලකා හැරීමයි.
පූර්ණ ප්රතිසංස්කරණයක් අවශ්යයි
මේ නිසා, මලෛයහම් දෙමළ ප්රජාව මුහුණ දෙන මෙම බහුමානික අර්බුදයට විසඳුම් සෙවීමේදී තාවකාලික සහන දීමනාවලින් ඔබ්බට ගිය පූර්ණ හා ව්යුහාත්මක ප්රතිසංස්කරණ ක්රියාවලියක් රජය විසින් වහා ආරම්භ කළ යුතුව තිබේ. වතුකරයේ ජනතාව පෞද්ගලික වතු පාලනාධිකාරියේ වැඩවසම් පාලන ක්රමයෙන් මුදවාගෙන, සෙසු පුරවැසියන් මෙන් ප්රාදේශීය ලේකම් කාර්යාල සහ ප්රාදේශීය සභා වැනි රාජ්ය පරිපාලන ව්යුහයට සෘජුවම ඒකාබද්ධ කළ යුතුය. වතු පද්ධතිය අහෝසි කරමින්, විධිමත් ලිපිනයන්, පානීය ජලය, විදුලිය, ප්රවේශ මාර්ග සහ නෛතික ඉඩම් ඔප්පු සහිත “නව ගම්මාන” ලෙස මෙම ජනාවාස නැවත ගොඩනැගීම අත්යවශ්ය වේ.
එමෙන්ම, වතුකරයේ පාසල් පද්ධතිය නංවාලීම සඳහා ගුරු හිඟය පියවා ගැනීම, විද්යාගාර සහ පුස්තකාල ඇතුළු භෞතික පහසුකම් සංවර්ධනය කිරීම සහ ද්විතීයික අධ්යාපනය ලබාගැනීමට හැකි වන පරිදි පාසල්වල ශ්රේණි ඉහළ නැංවීම වහා සිදුවිය යුතුය. රාජ්ය මට්ටමින් නිකුත් කරන සියලුම චක්රලේඛ, අයදුම්පත් සහ සන්නිවේදනයන් දෙමළ භාෂාවෙන් ලබාදෙමින් ඔවුන්ගේ භාෂා අයිතිය තහවුරු කිරීමද සිදුවිය යුතු මූලික කාර්යයකි.
වසර සිය ගණනක් පුරා රටේ ආර්ථිකයට අනුපමේය සේවයක් ඉටු කරන මලෛයහ ජනතාව, ස්වාභාවික ව්යසනයකදී පවා මෙලෙස දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සැලකීමට ලක්වීම සදාචාරාත්මක මෙන්ම මානව හිමිකම් පිළිබඳව ද දැඩි ප්රශ්න මතුවන්නකි. නවෝදයපුරම් වැනි ව්යාපෘති හරහා යම් පිරිසකට සහනයක් ලැබීම අගය කළ යුතු වුවද, දෝතල්ඔය වැනි අවදානම් කලාපවල තවමත් අසරණව සිටින සමස්ත මලෛයහ ජනතාවටම ඉඩම් හිමිකම, සුදුසු ස්ථිර නිවාස, මූලික යටිතල පහසුකම් සහ නිසි අධ්යාපන අයිතිය තහවුරු වන තෙක් මෙම ඛේදවාචකයට පූර්ණ විසඳුමක් ලැබෙන්නේ නැත.
මලෛයහ ජනතාවට අවශ්ය කරන්නේ හුදු අනුකම්පාව හෝ කෙටි කාලීන ආපදා සහන පමණක් නොව, ශ්රී ලාංකික පුරවැසියන් ලෙස ඔවුන්ට හිමිවිය යුතු සමාන අයිතිවාසිකම්, මානව ගෞරවය සහ ස්ථිර නිවාස හා භූමි සුරක්ෂිතතාවයයි.





