/ Oct 19, 2026

පරිසර සම්මාන උළෙලේදී කාවන්තිස්සට අගමැතිනියගෙන් රජයේ ශෝකය!

ජාතික සම්පතක් වූ කාවන්තිස්ස ඇතා අවාසනාවන්ත ලෙස මිය යෑම පිළිබඳව රජය දැඩි ශෝකයට පත්ව සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ප්‍රකාශ කළාය.

පාරිසරික අපරාධවලට වගකිවයුත්තන්ට එරෙහිව කිසිදු භේදයකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව පාරිසරික නීති දැඩිව ක්‍රියාත්මක කරන බව ද එහිදී ඇය අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පරිසර අමාත්‍යාංශය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වැනි වරටත් සංවිධානය කරන ලද 2026 ජනාධිපති පරිසර සම්මාන උළෙල අද (19) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය.

ස්වාභාවික සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීම වෙනුවෙන් ඇගයීමට ලක් වූ ආයතන සඳහා රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන ඇතුළුව සම්මාන 195ක් මෙහිදී පිරිනමන ලදී.

රන් සම්මාන ප්‍රදානය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ද එක්වූවාය.

උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.

”කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් විශාල උත්සාහයක් දැරුවා. එහෙත් තුවාලවල බරපතළකම සහ ඒ හේතුවෙන් ඇති වූ ආසාදන නිසා ඇතාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නැහැ. මෙම අහිමි වීම පිළිබඳව රජය දැඩි ශෝකයට පත්ව සිටිනවා.

අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා වනජීවී සතුන්ට ලබාදෙන පශු වෛද්‍ය ප්‍රතිකාර සේවා සහ පශු වෛද්‍ය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරනවා.

දිගු කලක් තිස්සේ පවතින මිනිස්-අලි ගැටුමට විසඳුම් සෙවීම සඳහා රජය මේ වන විටත් ප්‍රායෝගික පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ඒ අනුව වනාන්තර ප්‍රදේශ 113ක් රක්ෂිත ලෙස නම් කර ඇති අතර, ඒ යටතේ හෙක්ටයාර 71,900ක (ආසන්න වශයෙන් අක්කර 180,000ක) භූමි ප්‍රමාණයක් ආරක්ෂාවට ලක් කර තිබෙනවා.

ඊට අමතරව අලින්ට නිදහසේ ගමන් කිරීමට පහසුකම් සැලසීම සඳහා අලිමංකඩ තුනක් ස්ථාපිත කරමින් පවතිනවා. අලි කළමනාකරණය සඳහා වෙන් වූ රක්ෂිතයක් ද පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා පිකප් රථ 100ක්, යතුරුපැදි 185ක් සහ ට්‍රැක්ටර් නවයක් ලබා දී තිබෙනවා. තවද අලි වැට නඩත්තු කිරීම සඳහා අලි වැට සහායකයන් 3,500ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් 5,000ක් යොදවා තිබෙනවා.

වසර 26කට පසුව ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම සඳහා ද පියවර ගෙන තිබෙනවා. පරිසර අමාත්‍යාංශයට නව නිලධාරීන් 1,600කට වැඩි පිරිසක් බඳවා ගැනීමට ද කටයුතු කරමින් සිටිනවා.”

පවන් ගුණවර්ධන

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top