/ Oct 22, 2026

“වතු පාසල්වලටත් ජාතික පාසල් සම්පත් ” : අම්බිගා සැමුවෙල්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රබල විෂමතාවක් පෙන්වන වතු පාසල්වලට ජාතික පාසල්වලට ලබාදෙන සියලු සම්පත් දෙන බව ජා.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රීනී අම්බිගා සැමුවෙල් ‘ලංකා ටයිම්ස්’ වෙත පැවැසුවාය.

මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ ‘අයිපෙන්’ සංවිධානයේ මගපෙන්වීමෙන් මතුරට, රාගල ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මලයහ දරුවන් පාසල් අධ්‍යාපනය ලබද්දී තවමත් නොසැලකිල්ලට ලක්වීම ගැන ‘ලංකා ටයිම්ස්’ කළ නිරීක්ෂණය සම්බන්ධයෙන් විමසීමේදී ය.

එහිදී ‘ලංකා ටයිම්ස්’ හා අම්බිගා සැමුවෙල් මන්ත්‍රීවරිය අතර ඇති වූ සංවාදය මෙසේය.

ප්‍රශ්නය : මලයහ දෙමළ දරුවන් අධ්‍යාපනය ලබන පාසල් සඳහා ආණ්ඩුවෙන් වෙනම වැඩපිළිවෙලක් දියත් වෙනවද?

පිළිතුර: කඳුකරයේ පාසල් වලට ඉඩම් ඔප්පු නෑනේ. ඒ ගැන අපි අනුර සහෝදරයා සමග කතා කළා. ඒ අනුව අපි පාසල්වලට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ඉක්මනින් ආරම්භ කරනවා. ජාතික පාසල් වලට හිමි සියලු ව්‍යාපෘති කඳුකර පාසල්වලටත් දෙන්න තමයි අපි සාකච්ඡා කළේ. ඉස්සර වගේ වෙනස්වීම් නොසැලකිලි කිසිවක් නොවන්න තමයි අපි වැඩ කරන්නේ.

ප්‍රශ්නය : වතු පාසල් නමින් දැනට කරන වර්ගීකරණය වෙනස් වෙනවාද?

පිළිතුර: ඔව්. වතු පාසල් නමින් පහසුකම් ලබා නොදීනේ තිබුණේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අවශ්‍ය සියලු පහසුකම් ඒවාටත් දෙනවා. සනීපාරක්ෂක පහසුකම්, ඩිජිටල්කරණයට අදාළ උපාංග සියල්ල දෙනවා. අඩුම තරමින් අධ්‍යාපන කලාපයකට එක පාසලක්වත් මව් බසින් අධ්‍යාපනය ලබා දෙන්න අපේ උත්සාහ කරනවා.

ප්‍රශ්නය : නමුත් මලයහ දරුවන් ඉගෙනගන්නා වලපනේ රිළාමුල්ල ප්‍රාථමික හින්දු විදුහලේ ප්‍රධාන ශාලාව දැනටමත් අවදානම් සහගත ගරා වැටුණු එකක්. මේ ගැන යම් නිරීක්ෂණයක් තිබෙනවද?

පිළිතුර: (මන්ත්‍රීවරිය මෙම පාසල ගැන තොරතුරු ලබාගත් අතර කඩිනමින් සොයා බැලීමට පොරොන්දු වූවාය)

මානෙල් ⁣ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top