එක්සත් රාජධානිය සහ ශ්රී ලංකාව අතර පවතින දිගුකාලීන ඓතිහාසික, රාජ්ය තාන්ත්රික සහ වාණිජ සබඳතා තවදුරටත් පුළුල් කරමින් දෙරටේ ව්යාපාරික නායකයින්, ආයෝජකයින් සහ ක්ෂේත්ර නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහගේ ප්රධානත්වයෙන් ලන්ඩන් නුවරදී විශේෂ ව්යාපාරික සහ ආයෝජන සංසදයක් සාර්ථකව පවත්වා තිබේ.
මෙම අවස්ථාවට බ්රිතාන්යයේ ශ්රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර සහ ශ්රී ලංකාවේ එක්සත් රාජධානියේ වෙළෙඳ දූත ලෝඩ් හැන්නට් (Lord Hannett), කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, EDB සභාපති/ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සහ BOI විධායක අධ්යක්ෂ ප්රියංකා සමරවීර ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඒක එක්ව ඇත.
තොරතුරු තාක්ෂණය, දේපළ වෙළෙඳාම් (Real Estate), බලශක්ති සහ ආහාර සැකසුම් ක්ෂේත්ර නියෝජනය කරමින් බ්රිතාන්ය සමාගම් දැක්වූ ඉහළ සහභාගිත්වය, ශ්රී ලංකාව සමඟ වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීමට ඔවුන් තුළ ඇති දැඩි උනන්දුව මනාව පිළිබිඹු කරන්නක් බව එහිදී අදහස් දක්වමින් අමාත්යවරයා පෙන්වා දී තිබේ.
මෙම සංසදය අමතමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ ප්රකාශ කළේ එක්සත් රාජධානිය ශ්රී ලංකාවේ වැදගත්ම වෙළෙඳ හවුල්කරුවෙකු මෙන්ම තෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන බවයි.
වසර 2025 වන විට බ්රිතාන්ය ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.73ක් දක්වා ළඟා වී ඇති අතර, එම සමාගම් මඟින් මෙරට රැකියා 22,000කට ආසන්න ප්රමාණයක් බිහිකර ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයා ඇත. සංචාරක ක්ෂේත්රයේ ප්රගතිය පිළිබඳව ද කරුණු දැක්වූ අමාත්යවරයා, 2025 වසරේදී ශ්රී ලංකාවට පැමිණි මිලියන 2.3ක ජාත්යන්තර සංචාරකයින් අතරින් 212,000කට වැඩි පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති බවත්, ඒ අනුව බ්රිතාන්යය ශ්රී ලංකාවේ දෙවැනි විශාලතම සංචාරක ප්රභවය බවට පත්ව ඇති බවත් අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේ ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සමඟ සමීපව කටයුතු කරමින් ක්රියාත්මක කළ විස්තීර්ණ ප්රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීමටත්, විදේශ සංචිත ගොඩනැඟීමටත්, ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසය ඉහළ නැංවීමටත් හැකි වූ බවයි. මෙම සාර්ථක ප්රතිසංස්කරණ සහ ජනතාවගේ මෙන්ම ව්යාපාරික ප්රජාවගේ කැපවීම මත 2024 සහ 2025 වසරවලදී දේශීය ආර්ථිකය 5%ක අඛණ්ඩ වර්ධනයක් අත්කරගත් අතර, 2025 වසරේ සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17.3ක් දක්වා ඉහළ නැංවීමට ශ්රී ලංකාව සමත් වී ඇති බව අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා පුරෝකථනය කළ හැකි සහ විනිවිදභාවයෙන් යුතු සුදුසු ව්යාපාරික පරිසරයක් සකස් කිරීම රජයේ ප්රමුඛතාවක් බව අවධාරණය කළ අමාත්යවරයා, රෙගුලාසි සරල කිරීම, රාජ්ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ආයෝජන මණ්ඩලය (BOI) හරහා ආයෝජකයන්ට අවශ්ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ප්රකාශ කළේය. බ්රිතාන්ය ව්යාපාරිකයන්ට පවතින ගැටලු හා අවශ්යතා පිළිබඳව සෘජුව සාකච්ඡා කිරීමට රජය සූදානම් බව සඳහන් කළ ඒ මහතා, ශ්රී ලංකාවේ නිපැයුම් ධාරිතාව වැඩිදියුණු කිරීමට සහ අලුත් රැකියා උත්පාදනය කිරීමට හේතුවන හවුල්කාරිත්වයන් වෙත විවෘතව ආරාධනා කර සිටියේය.
මෙම ආයෝජන සංසදය හරහා ඇති කරගන්නා ව්යාපාරික සබඳතා දෙරටේම පොදු සමෘද්ධිය උදෙසා දිගුකාලීන හවුල්කාරිත්වයන් දක්වා වර්ධනය වනු ඇතැයි අමාත්යවරයා විශ්වාසය පළ කර තිබේ. එමෙන්ම, මෙම වැඩසටහන මඟින් ඇති කරගන්නා ව්යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා 2027 ජනවාරි මස කොළඹදී පැවැත්වීමට නියමිත “ශ්රී ලංකා එක්ස්පෝ 2027” (Sri Lanka EXPO 2027) ජාත්යන්තර ප්රදර්ශනය සඳහා සහභාගී වන ලෙස බ්රිතාන්යයේ සියලුම ආයෝජකයින්ට සහ ව්යාපාරික ප්රජාවට වසන්ත සමරසිංහ අමාත්යවරයා නිල වශයෙන් ආරාධනා කර සිටියේය.





