/ Oct 28, 2026

සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට AI සහ ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ!

රෝග නිරීක්ෂණය, දේශගුණය ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් තක්සේරු කිරීම, ආපදා සූදානම සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කරමින් ජාතික මහජන සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු ඩිජිටල් තාක්ෂණයන් ඒකාබද්ධ කරගැනීමේ අත්‍යවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ, තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී (UNCC) අද (28) ආරම්භ වූ පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේදී (MC-5) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදහස් දක්වමිනි.

එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ තායිලන්ත රජය එක්ව සංවිධානය කරන ලද මෙම සමුළුවේදී, සමුළුවේ උප සභාපතිවරයෙකු ලෙස ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් විය.

සමුළුව හමුවේ විශේෂ අදහස් දැක්වීමක් සිදුකළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ගෝලීය වශයෙන් තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමේ ප්‍රගතිය අපේක්ෂිත මට්ටමට වඩා සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බවයි. කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධිය වැනි පරිවර්තනීය ඩිජිටල් තාක්ෂණයන් සෞඛ්‍ය පද්ධතියට ඒකාබද්ධ කිරීම තුළින් දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන සෞඛ්‍ය අවදානම් පාලනය කිරීමට සහ මහජන සෞඛ්‍ය සේවා වඩාත් කාර්යක්ෂම කිරීමට පෙර නොවූ විරූ අවස්ථාවන් උදාවී ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙවැනි නවීන තාක්ෂණික මෙවලම්වල ප්‍රතිලාභ සම්පත් සහ ධාරිතා සීමාවන්ට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට ද අත්පත් කර දීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් මෙවලම් හුවමාරු කරගැනීම, ජාතික අවශ්‍යතාවලට අනුව ඒවා සකස් කරගැනීම සහ ධාරිතා වර්ධනය උදෙසා කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්න සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top