ශ්රී ලංකාවේ මාසික භාණ්ඩ අපනයන ආදායම 2026 සැප්තැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 1.37ක් දක්වා ඉහළ යමින් ඉතිහාසයේ ඉහළම මාසික අගය වාර්තා කර තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව, මෙම ආදායම 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 21ක වර්ධනයක් වන අතර මීට පෙර 2025 ජූලි මාසයේදී වාර්තා වූ ඩොලර් බිලියන 1.30ක මාසික අපනයන ආදායම් වාර්තාව ද මෙහිදී අභිබවා ගොස් ඇති බව දැක්වෙයි.
මේ අතර 2026 සැප්තැම්බර් මාසයේදී කාර්මික අපනයන ආදායම සියයට 27.7කින් ඉහළ ගොස් තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 149.9ක් ලෙස වාර්තා වී ඇත.
එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 130ක වර්ධනයක් ලෙස දැක්වෙයි.
එමෙන්ම යන්ත්රෝපකරණ හා යාන්ත්රික උපකරණ අපනයන ආදායම ඩොලර් මිලියන 70ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 72ක වර්ධනයක් ලෙස දක්වා ඇත.
මේ අතර, සේවා අපනයන ආදායම ද ඩොලර් මිලියන 559ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය සියයට 11.2ක වර්ධනයකි.
ඒ අනුව, 2026 සැප්තැම්බර් මාසයේදී භාණ්ඩ හා සේවා අපනයනවල ඒකාබද්ධ ආදායම ඩොලර් බිලියන 1.94ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පෙර වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 18ක වර්ධනයක් බව වාර්තා වී ඇත.
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ සමස්ත භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 10.75ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 5.3ක වර්ධනයක් බව සඳහන්.
මෙම අපනයන වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම, නව විදේශීය වෙළෙඳපොළ වෙත ප්රවේශ වීම සහ ඉහළ අගය එකතු කළ නිෂ්පාදන ප්රවර්ධනය කිරීම වැදගත් බව පෙන්වා දී ඇත.





