ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පැමිණි පසු වැඩියෙන්ම කතාබහට ලක් වූ ආයතනයක් වන්නේ ශ්රී ලංකා පොලිසියයි. ඊට එක් හේතුවක් නම් දූෂිතයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේ ප්රමුඛම විමර්ශන යාන්ත්රණය පොලීසිය සතුවීමයි. පැවැති ආණ්ඩුවල මැති ඇමැතිවරුන්ගේ සිට දේශපාලන තන්ත්රයේ සැලකිය යුතු පිරිසකට දූෂණ හා අපරාධ චෝදනා යටතේ විමර්ශන සිදුවන්නේ පොලීසියේ විවිධ දෙපාර්තමේන්තු මගින් වීමය. අවස්ථා කීපයකදීම චෝදනා එල්ල වූ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්යෙෂ්ඨ නිලයන්ට තනතුරු වගකීම් අහිමිවූයේ ද මෙම ක්රියාවලියට මග පෑදීමට යැයි එකල කියැවිණි.
ජාතික ජනබලවේගය ආණ්ඩු බලය ලබාගැනීමට පෙර සිටම පොලිසියේ ව්යුහාත්මක වෙනසක් වෙනුවෙන් සැලසුම් සකස් කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව සිට විශ්රාම ගිය ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්ය පොලිස්පතිව සිටි රවි සෙනෙවිරත්න වැනි චරිත නැවත සක්රීය සේවයෙහි පිහිටුවා වගකීම් දීම එහි ආරම්භය විය. එවැනි පත්කිරීම් දේශපාලන පත්කිරීම් බවට චෝදනා එල්ල වන පසුබිමක පවා තීරණාත්මක තීන්දු ගැනීමෙන් ජාතික ජනබලවේග ආණ්ඩුව දූෂණ හා අපරාධ විමර්ශන සම්න්ධයෙන් දේශපාලන අධිෂ්ඨානයකින් ක්රියාත්මක වන බව මුල සිටම විද්යමාන විය.
එහෙත් ආණ්ඩුවට මතවාදීව හිතවත් ඇතැම් පිරිස් පවා මේ වනවිට ආණ්ඩුවට පොලිසිය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කරමින් සිටිති. ඊට හේතු වී තිබෙන්නේ පොලිසියේ ඇතැම් නිලධාරින් කරන අත්තනෝමතික හා අනීතික අත්අඩංගුවට ගැනීම්ය. තවද එසේ අත්අඩංගුවට පත්වන්නන්ට පොලිස් ස්ථාන ඇතුළේම කෙරෙන අමානුෂික වධ බන්ධනය. විටින් විට තැනින් තැන වාර්තා වෙමින් පැවැති එම සිදුවීම් කලින් කල යටගිය ද මේ වනවිට පොලිසිය සම්බන්ධයෙන් වූ මහජන විවේචනය උච්චතම ස්ථානයට පැමිණ තිබේ. ඊට හේතු වී ඇත්තේ එසේ කෙරුණු ම්ලෙච්ඡ පහරදීම් ඝාතනවලින් කෙලවර වන නරක තැනකට ගමන් කිරීමය.
ගම්පහ හෝමාගම පොලිස් වීර ක්රියා
පොලීසියේ මෙම නිර්ලජ්ජිත බලහත්කාරය පෑම කෙතරම් උග්ර තැනකට ගමන් කළේද කිවහොත් ‘බොරු නඩුදැමීම’ නමැති කුප්රකට ව්යායාමයට එරෙහිව මැදිහත්වීමට පසුගියදා අධිකරණයට සිදුවිය. ඊට බලපෑවේ මකන්දන ප්රදේශවාසියකුට මත්ද්රව්ය සන්තකයේ තබාගත් බවට ගම්පහ පොලිස් දූෂණ මර්දන ඒකකය බොරු නඩුවක් දැමීමය. නඩුව ඉවත් කළ මහෙස්ත්රාත්වරයා ඉන් නොනැවතී වින්දිත පුද්ගලයාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නැයි පොලිස් නිලධාරින් තිදෙනකුට නියෝග කළේය. තවද අහිංසක පුරවැසියන්ට බොරු නඩු පැවරීමේ මෙම කුප්රකට අභ්යාසය වැලැක්වීමට විශේෂ චක්රලේඛයක් නිකුත් කරන ලෙසට පොලිස්පතිවරයාට ද නියෝග කළේය. පොලිස්පති අධිකරණ නියෝගය පිළිපැදීම වෙනුවට කළේ වංගුවක් ගැහීමය. මුළු රටට පොදුවන සේ චක්රලේඛයක් නිකුත් කිරීම වෙනුවට පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා කළේ බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්ය පොලිස්පතිවරයා මගින් ගම්පහ, කැලණිය හා මීගමුව යන පොලිස් කොට්ඨාසවලට පමණක් සීමා වූ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමය. අධිකරණයටත් කොකා පෙන්වීමක් බඳු වූ පොලිස්පතිවරයාගේ ප්රතිචාරයට මහෙස්ත්රාත්වරයා ද පෙරළා ප්රතිචාර දැක්වූයේය. ඒ, අධිකරණ නියෝගය නොතැකීමට අදාළව පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණ අපහාස නඩුවක් ගොනුකිරීමටය.
දේශපාලනිකව ලකුණු දා ගැනීම සඳහා හයිකාරකම් පෙන්වීම ඇතැම් ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිය චර්යාවේ අංගයක් කරගත් කාලයක් තිබිණ. නිර්ලජ්ජිත ලෙස තමන් තෝරාගත් දේශපාලන කඳවුරු වෙනුවෙන් ඔවුහු පෙනීසිටියහ. අනුර සේනානායක හා වාස් ගුණවර්ධන යනු එවැනි ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන්ට ආසන්නතම කුප්රකට නිදසුන් දෙකකි. මහජන මිත්රශීලී අපක්ෂපාතී පොලිසියක් තැනීමේදී මේ නිධන්ගත ව්යාධිය ප්රධාන බාධකයක් විය. වඩාත් නරකම කරුණ වූයේ තමන්ගේ ආණ්ඩුව හෝ දේශපාලන පක්ෂය වෙනුවෙන් අතේ හිරි අරින, නීතිය නවන පුද්ගලයන්ට ඇතැම් අවස්ථාවල වැරැද්ද ඔප්පුවීත් කිසිදු නීත්යනුකූල පියවරක් නොගැනීමය. අඩුම තරමින් ඇතැමුන්ට චෝදනා පත්රයක්වත් ලැබුණේ නැත. මිනීමරා හිංසන කළ ද නිරුපද්රිතව විශ්රාම යෑමේ අවස්ථාව ඇතැම් නිලධාරීන්ට ලැබුණේ මේ දණ්ඩමුක්තියේ දේශපාලනය නිසාමය.
ජාතික ජනබලවේගයට බලය ලබාදීමේදී මහජනයා ඔවුන්ගෙන් අපේක්ෂා කළ එක් ප්රතිපත්තිමය වෙනසක් වූයේ පොලිසිය මේ දේශපාලනීකරණයෙන් මුදාගැනීමය. චෝදනා එල්ල වූ නිලධාරින්ගේ පට්ටම් ගලවා ඇතැමුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් ආණ්ඩුව ඊට අත ගැසූ බවක් ද පෙනුණි. එහෙත් බලයට පැමිණ වසර දෙකකට පසුත් ශ්රී ලංකා පොලිසියෙන් වාර්තා වන ඇතැම් සිදුවීම් දෙස බලද්දී ආණ්ඩුවට එල්ල වන මූලික පැනයක් තිබේ. එනම්, පොලිසියේ ව්යුහාත්මක වෙනසක් සිදුවී තිබේද යන්නයි. ඒ සඳහා බලපාන මූලිකම තත්ත්වය වී තිබෙන්නේ දිගින් දිගටම ලංකාවේ හතර වටින් වාර්තා වන වධහිංසන හා අත්අඩංගුවේදී සිදුවන මරණයි. එහි ආසන්නතම බිහිසුණු නිදසුන වී තිබෙන්නේ හෝමාගම මූලස්ථාන පොලිසියේදී නිලධාරින් කළැයි කියන දරුණු පහරදීම්වලින් 29 හැවිරිදි එක්දරු පියෙකු මියයාමේ සිදුවීමය.
ඉෂාර හර්ෂ කුමාර නමැති මෙම මරණකරු අයිස් මත්ද්රව්ය ළඟ තබාගැනීමට සැකපිට 25 වැනිදා හෝමාගම මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගත් බව මාධ්ය වාර්තා කර තිබිණ. තවද පොලිසියේ සිරමැදිරියේ රදවනු ලැබූ අවස්ථාවේ හදිසියේ රෝගාතුරව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගිය බව හෝමාගම පොලිසිය උපුටා දක්වමින්ම එකී මාධ්ය වාර්තා කර තිබිණ. සිදුවීම ගැන මහජන අවධානය යොමුවීම ආරම්භ වූයේ මරණකරුගේ නෑසිය මිතුරන් විසින් සෘජුවම පොලිසියට චෝදනා කරනු ලැබීම සමගය. සමාජ මාධ්යයේ එල්ල වූ පීඩනය සමග හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති හා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති තනතුරු දැරූ උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකුගේ හා තවත් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත. එහෙත් ප්රශ්නය වන්නේ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් මහජන විශ්වාසය මේ වනවිටත් පළුදු වී තිබීමය. ඊට එක් හේතුවක් වී තිබෙන්නේ වැරැදි කරන පොලිස් ලොක්කන්ට එරෙහිව තීරණාත්මක තීන්දු ගැනීමට පොලිස්පතිවරයාට හැකිද යන පැනයයි. ගම්පහ නඩුවේදී පොලිස්පතිවරයා ගැසූ වංගුව තරම් තවත් හොඳ නිදසුනක් ඊට නැත.
ඇමැතිගේ විහිළු උපදෙස්
හෝමාගම ඝාතනය ගැන අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පොලිස්පති ප්රියන්ත වීරසූරියට මහතාට උපදෙස් දී ඇති බව මාධ්ය වාර්තා කළේය. එම සිද්ධියට අදාළව කරන පශ්චාත් මරණ පරීක්ෂණය ඇතුළු විමර්ශනවලින් අනාවරණය වන කරුණු අනුව ඉදිරි නීත්යනුකූල පියවර ගන්නැයි ඇමැතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව ද එම වාර්තාවල සඳහන් කර තිබිණ. ප්රශ්නය ඇත්තේ මෙතැනය. අපරාධයක් සිදුව ඇති බව පැහැදිලි නම් ඊට අදාළ විමර්ශන හරි පීල්ලේ ඉදිරියට යා යුතුය. ඒ සඳහා අමුතුවෙන් පොලිස්පතිට උපදෙස් දෙන්නට ඇමැතිවරයෙක් ඕනෑ නැත. එහෙත් ඇමැතිවරයා මෙසේ උපදෙස් දෙන ප්රියන්ත වීරසූරිය යනු කවුද? අධිකරණයේ නඩුකරයකට අදාළව විනිශ්චකාරවරයකු දුන් නියෝගයට වංගුවක් ගැසූ පොලිස්පතිය. ඉතින් අධිකරණයේ විනිසුරුවරයකු දෙන නියෝගයට බය නැති පොලිස්පති ඇමැතිගේ උපදෙස මායිම් කරාවිද?
ආසන්න දශක දෙක තුනක පොලිස් ඉතිහාසයේ පොලිස්පතිලා විශ්රාම ගියේම කළු පැල්ලම් රැසක් සමගින්ය. ප්රියන්ත වීරසූරිය මහතාට පෙර තනතුර දැරූ දේශබන්ධු තෙන්නකෝන් මහතා තනතුරට පත්වූයේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ හිංසකයකුගේ පට්ටම ද සමගය. පැවැති රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාගේ රැකවරණය හා ටිරාන් අලස් නමැති දේශපාලකයා නොවන්නට ඔහුට එම තනතුර ලැබෙන්නේ නැත. ඊට පෙර විශ්රාම ගිය සී.ඩී වික්රමරත්න මහතා මියගියේ පොලිසියම පවසන ආකාරයට වෙඩි තබාගෙනය. යහපාලන ආණ්ඩු සමයේ පොලිස්පති වූ පූජිත ජයසුන්දර ජීවිතය බේරාගත්තත් පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර නඩුවට හිරේ විලංගුවේ වැටුණේය. මහත්තයකු හැටියට ඇඟ බේරාගත්තා නම් ඒ ඉලංගකෝන් මහතාය. ඒ අර්ථයෙන් ගත්කළ පොලිස්පති ධුරයට පුද්ගලයන් තෝරා පත්කෙරුණේ එහි සමස්ථ යථාර්ථය හොඳින්ම නිරූපණය කිරීමටදැයි හුදී ජනයාට පැනයක් නැගුණහොත් ඊට පුදුම විය යුතු නැත. දැන් කොස්තාපල් තනතුරේ සිට මුදුනටම පැමිණියේ යැයි උදාරම් කී ප්රියන්ත වීරසූරිය නමැති පොලිස්පතිවරයා කටයුතු කරන ආකාරයේ ඇති වෙනස කුමක්ද? ඔහු තනතුරට පත් වී නොබෝ දවසකින්ම කළ ප්රකාශය ඔහුගේ පාලනය ගැන යම් සංඥා කිරීමක් විය.
හිංසනය පාසලෙන් තුරන් කිරීමට රාජ්ය මට්ටමින් වැඩ සිදුවන පසුබිමක ඔහු කීවේ තමාගේ ගමනට තමන්ට තැලූ ගුරුවරුන් ද සවියක් වූ බවකි. ඉතින් වීරසූරිය වැඩ ආරම්භ කළේම නූතන අධ්යාපන ක්රමවේදවලදී අලුයම ලූ කෙල පිඩක් සේ පිරිහෙලා කතා කෙරෙන මේ දණ්ඩනයට ලොකු ගෞරවයක් දීගෙනය. පොලිස්පතිගේ කතාව සිහිබුද්ධියක් ඇති සමාජයේ විවේචනයට ලක්වූවද කතාව නැවත නිවැරැදි කරගත්තේ පොලිස්පති නොවේ. දැන් වීරසූරියගේ පොඩ්ඩෝ දණ්ඩනය කරේ තියාගෙන නටති. පොලිසියේ බොරුවටත් ම්ලෙච්ඡත්වයටත් වැට බැඳීමට සිදුව ඇත්තේ අධිකරණයටය. ඒ අධිකරණ නියෝගයටත් වංගු ගැසීමට මාන බලන වීරසූරිය සැබැවින්ම පොලිස්පති තනතුර කෙලෙසා නැද්ද?
රාජේශ්





