ජනාධිපතිවරයා සභාවට පැමිණ අයවැය යෝජනා රජයේ ප්‍රතිපත්ති සම්භාරය ගැන කරුණු ඉදිරිපත් කළ පසු ඊයේ දින ලාෆ් ගෑස් මිල වැඩි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලාෆ් ගෑස් මිල වැඩි වීම නිසා ජනතාව ගැටලු රැසකට මුහුණ දෙන බව පාර්ලිමේන්තුවේ පවසන විට කතානායකවරයා සහ සභානායකවරයා විසින් ඒ සඳහා බාධා පැමිණවීම සිදු කරන ලද බවයි විපක්ෂ නායකයා පැවසුවේ.
මේ අවස්ථාවේදී ගෑස් මිල වැඩි වීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රශ්න කිරීම සභානායකවරයා විසින් හැන්සාට් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ද කතානායකවරයාට පැවසීය.
ලාෆ් ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා නොදීම ගැන මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිය අප්‍රසාදය පළ කරන ලදී.
රටේ සහ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා නොදීම කණගාටුවට කරුණක් බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල වැඩිකර තිබෙන අතර ඒ අනුව රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 6,740කි.
එමෙන්ම, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720ක් වේ.
ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බවයි.
කෙසේවෙතත් අලෙවි නියෝජිත ජාලය හරහා අඛණ්ඩව ගෑස් සැපයීම පවත්වාගෙන යාමට සියලු උත්සාහයන් ගන්නා බවද ලාෆ්ස් ගෑස් සමාගම පවසා තිබේ.





