සිංහරාජයේ ලොකුම ජාන කොල්ලයේ පිටුපස කතාව
ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරනු ලැබූ, සිංහරාජ වැසි වනාන්තරය යනු මෙරට පවතින ජෛව විවිධත්වයේ ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයකි. එහෙත්, මෑතකදී වාර්තා වූ අතිශය කම්පාජනක සිදුවීමකින් හෙළි වූයේ, අපේ රටේ මිල කළ නොහැකි ජාතික සම්පත් සහ ආවේණික ජීවී විශේෂ කිසිදු බාධාවකින් තොරව විදෙස් රටවලට ඇදී යන ජාත්‍යන්තර “ජෛව මංකොල්ලයක” කේන්ද්‍රස්ථානයක් බවට මෙම ලෝක උරුමය පත්ව ඇති බවයි.
නොවැම්බර් 09 වැනි දින අලුයම වනජීවී නිලධාරීන් විසින් සිංහරාජය ආශ්රිත වැද්දාගල ප්‍රදේශයේදී චීන ජාතිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම භයානක යථාර්ථය යළිත් වරක් රට හමුවේ නිරාවරණය විය. ශ්‍රී ලංකාවට ආවේණික ගොළුබෙල්ලන්, උරගයන්, කෘමීන් ඇතුළු සත්ව විශේෂ 40 කට ආසන්න ප්‍රමාණයක ජීවී සහ අජීවී නිදර්ශක 250 කට අධික ප්‍රමාණයක් මෙන්ම දුර්ලභ ශාක සාම්පලද සූක්ෂ්ම ලෙස අසුරා රටින් බැහැර කිරීමට උත්සාහ කර තිබුණි. මෙය මෙතෙක් සිංහරාජයෙන් වාර්තා වූ දැවැන්තම ජාන කොල්ලයයි.
වඩාත් කම්පාවට කරුණ වන්නේ, මෙම ජාත්‍යන්තර ජාන ජාවාරම්කරුවන් දින ගණනාවක් තිස්සේ නවාතැන් ගෙන පහසුකම් ලබාගෙන ඇත්තේ පාතාල අපරාධකරුවන්ගේ තිප්පොළක නොව, සෘජුවම සිංහරාජ වනාන්තරය භාරව කටයුතු කරන වන පාලකවරයාට අයත් සංචාරක නිකේතනයක වීමය. වන රක්ෂිත සුරැකීමට වගකිව යුත්තන්ගේ ආශිර්වාදය හෝ නොසැලකිලිමත්කම මත මෙම මහා පරිමාණ ජෛව මංකොල්ලය සිදුවී ඇත්නම්, එය හරියටම “නරියාට කුකුල්ලු භාර දුන්නා වැනි” ඛේදජනක තත්ත්වයකි. නැතහොත් දේවාලයේ කපුවාගේ සහාය ඇතිව පිංකැටය බිඳීමකි.
අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අදාළ බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය, ලාභ අපේක්ෂාවන් සහ පෞද්ගලික ව්‍යාපාරික ළබැඳියාවන් හේතුවෙන් මෙරට මූලිකම පරිසර පද්ධති මෙන්ම වන සංරක්ෂණ යාන්ත්රණයද බරපතළ අර්බුදයකට මුහුණ දී තිබේ. ජාතික ජෛව සම්පත් ආරක්ෂා කිරීමට බාර දී ඇති ආයතන තුළම මෙවැනි ජාවාරම් ක්‍රියාත්මක වීම යනු සමස්ත රටේම අනාගතය පිළිබඳව බියකරු හැඟීම් දනවන්නකි. සමස්ත කොල්ලකාරී බලමුළු පරාජය කොට දේශය සුරක්ෂිත කිරීමට ජනතාවගෙන් වරම් ගත් රජයක් යටතේද මෙවැනි අපරාධකරුවන් සුරක්ෂිත වීම ඛේදවාචකයකි.
කොල්ලකරුවන් කොටු කළ මෙහෙයුම
මෙම විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාදුන් වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ අත්අඩංගුවට පත් චීන ජාතිකයින් 2026 නොවැම්බර් 05 සහ 06 දිනවල ගුවන් මගින් දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් සිංහරාජ වනාන්තරය ආශ්රිත වැද්දාගල බුත්කන්ද ප්‍රදේශයේ පිහිටි බර්ඩ් පැරඩයිස් නැමති සංචාරක නිකේතනයක නවාතැන් ගෙන, මෙම දුලබ ශාක සහ සතුන් එක්රැස් කර තිබෙන බවයි. වනජීවී නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදුලි ආලෝක උපකරණ යොදාගෙන රාත්‍රී කාලයෙ සතුන් එක්රැස් කරමින් සිටියදීය. පසුව ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල් කාමර පරීක්ෂා කිරීමේදී අදාළ නිදර්ශක සහ සෙසු උපකරණ සොයාගෙන ඇති අතර ඒවා සූක්ෂ්ම ලෙස රටින් බැහැර කිරීමේ සැලසුමක් තිබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම සිදුවීම පිටුපස ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රබල ජාන මංකොල්ලයක් පැවතිය හැකි බවට වනජීවී නිලධාරීන් දැඩි ලෙස අනුමාන කරන අතර එම විදේශිකයන් සතුව තිබී සතුන් මැරීමට සහ සංරක්ෂණය කර නිදර්ශක සැකසීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් ටියුබ්, විශේෂ උපකරණ, සර්පයින් ඇල්ලීමේ උපකරණ මෙන්ම ඔවුන් පැමිණි MG ZS වර්ගයේ රථයක් සහ ජංගම දුරකථන රැසක්ද වනජීවී භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ශාක හා සත්ත්ව සාම්පල සූක්ෂ්ම ලෙස පෙට්ටිවල අසුරා තිබී ඇති අතර සතුන් බොහොමයක් පණපිටින් සිට ඇත.
අදාළ අපරාධකරුවන් කොටු කර ගැනීමට හැකි වී ඇත්තේ වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක කේ.ඩී. නදීෂ මුතුකැලුම් මහතාට ලැබුණු රහසිගත පෞද්ගලික තොරතුරකට අනුව, වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත සිදු කළ රහසිගත මෙහෙයුමකිනි. වනසත්ත්ව අඩවි ආරක්ෂක කේ.ඩී.එන්. මුතුකැළුම් ගේ මූලිකත්වයෙන් වනසත්ත්ව අඩවි ආරක්ෂක බුද්ධික ලක්ෂාන්, වනසත්ත්ව අඩවි සහකාර එස්.ටී.රුවන් කුමාර, වන සත්ත්ව නියාමක එස්.එච්.ඩී.මදුරංග, ඩබ්.එස්.එල්.විජේසිංහ, වනසත්ත්ව නියාමක නිලූකා කුමාරි, ක්ෂේත්‍ර සහයක එන්.වී.ආර්.බුද්ධික, කේ.ඩී.එච්.සනත්, සඳුන් ශිවන්ත, රියදුරු නිමල් දසනායක හා චමිල් ජානක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රේරක කලාපයේ දී මෙරටට ආවේණික කෘමී සතුන් සහ උරගයින් එකතු කරමින් සිටි චීන ජාතික පිරිමි පුද්ගලයන් තිදෙනෙක් සහ එක් කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන්, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ චෝදනා 34ක් මත නඩු භාණ්ඩ සමග ඉකුත් 09 වන දා කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී සැකකරුවන් එළඹෙන 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ ගරු මහේස්ත්‍රාත්වරයා, අත්අඩංගුවට ගත් සත්ව නිදර්ශක හඳුනා ගැනීම සඳහා ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ජීවී සතුන් අදාළ පරිසරයටම නැවත මුදාහරින ලෙස නියෝග කළ බවද සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් වැඩිදුර පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවද වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
බලධාරීන් නොදන්නා බර්ඩ් පැරඩයිස්
උක්ත සිද්ධියට තුඩු දුන් නවාතැන්පළේ හිමිකාරීත්වය සිංහරාජ වන අඩවි පාලකවරයාට අයත් වීම සම්බන්ධව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දරන්නේ කෙබඳු අදහසක්ද යන්න අපි විමසුවෙමු. මේ වන තුරු ඔවුන්ට පැමිණිල්ලක් ලැබී නොමැති බවත් ඒ සම්බන්ධව තොරතුරු ලද වහාම දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීම පිළිබඳ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අප හා අදහස් දැක්වූ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියා පැවසුවේය.
නමුත් පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන්ද පෙන්වා දෙන්නේ මෙය දෙපාර්තමේන්තුවට රහසක් නොවූ බවයි. දෙපාර්තමේන්තුවේ මෙන්ම රජයේ විවිධ තනතුරු දරන ඉහළ නිලධාරීන්ට මේ නවාතැන ආගන්තුක එකක් නොවන බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ පෙන්වා දෙන්නේ, වන පාලකවරයා පත්වන අවස්ථාවේම ඔහු අදාළ තනතුරට නුසුදුසු බව කරුණු සහිතව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුන් නමුත් එම විරෝධතා යටපත් වූ බවයි. මෙය අහඹු හෝ හුදෙකලා සිදුවීමක් නොවන බවත්, හෝටල්වල සති ගණන් නතර වී සිටින විදේශීය සංචාරකයන් මෙවැනි ජෛව මංකොල්ලවල නිරත වුවද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල ඒ පිළිබඳව නිසි සොයා බැලීමක් කිරීමට සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බව ඔහු අවධාරණය කරයි.
“සිංහරාජය, නකල්ස්, ශ්‍රී පාද රක්ෂිතය, පිදුරුතලාගල ඇතුළු ලංකාවේ වටිනාම ජෛව විවිධත්ව කලාපවල අපි රටේ ජෛව සම්පත් විදේශයන්ට ගෙනියන ජාවාරම් කාලයක් තිස්සේ සිද්ධ වෙනවා. මේවා විවිධ අයථා ක්‍රම මගින් ලංකාවේ රේගුව හරහා පිට වෙනවා. චීන, රුසියන්, යුක්රේන, ඉන්දියානු සහ ඇතැම් යුරෝපීය රටවල්වල අයත් මෙවැනි ජාන මංකොල්ලයන් සිදු කරපු අවස්ථා වාර්තා වෙලා තියෙනවා. වැඩිපුරම චීන සහ රුසියන් කියන සංචාරකයෝ මේ ජාන ජෛව සම්පත් මංකොල්ලයට සම්බන්ධ වීමේ වැඩි ප්‍රවණතාවයක් මෑත කාලීනව දකින්න තියෙනවා. ඒ නිසා සංචාරකයින් විදිහට හෝ පර්යේෂකයින් විදිහට හෝ වෙනත් ආකාරවලින් එන විදේශිකයින් සම්බන්ධව වඩා වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. මේක හදිසියේ ඇවිල්ලා එක දවසින් කරගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. මේ සංචාරකයෝ ඇවිල්ලා සිංහරාජය ඇතුලේ සහ සිංහරාජය අවට තියෙන නවාතැන්පළවල සති ගණන් ලැගුම් ගන්නවා. අපිට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව අපි පැහැදිලිව දන්නවා ඉතා විශාල වශයෙන් මේක සිංහරාජයේ කුඩව වැද්දගල ප්‍රදේශ ආශ්‍රිතව සිද්ධ වෙනවා. එතකොට සංචාරකයින් දින ගණන් සති ගණන් හෝටල්වල නතර වෙලා ඉන්නවා නම්, ඔවුන් සම්බන්ධව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වෙනවා. හැබැයි මෙච්චර සිදුවීම් සිද්ධ වෙලත් ඒ සම්බන්ධව යම් කිසි දැනුමක්, නිසි අධ්‍යයනයක් සහ නිසි සොයා බැලීමක් කරන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වෙලා තියෙනවා. කුඩව වන නිවහන තියෙනවා, අඩවි කාර්යාලයක් තියෙනවා, වන පාලක කාර්යාලයක් තියෙනවා. මේ ආයතන අසමත් වීම සම්බන්ධව ලොකු ගැටළුවක් තියෙනවා.
මේ සිද්ධියේ තියන බරපතළම කාරණේ තමයි මේක සිංහරාජයේ වර්තමාන වනපාලකවරයාට අයිති හෝටලයක තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. රජයේ නිලධාරියෙක් හැටියට ඔහු කොහොමද එවැනි හෝටලයක් පවත්වාගෙන යන්නේ? එතකොට දින ගණන් චීන ජාතිකයින් ඇවිල්ලා මේ වනපාලකවරයාගේ හෝටලය ඇතුළේ කටයුතු කරනකොට, වනපාලකවරයා විදිහට විශේෂයෙන්ම ජෛව මංකොල්ලයන් සම්බන්ධව දැනුමක් ඇති පුද්ගලයෙක් විදිහට ඔහු ඒ ගැන නොදැන හිටියා යැයි විශ්වාස කරන්න පුළුවන්ද? තමන්ගේ පරිශ්‍රය ඇතුළෙ සිද්ධවෙන ජාන කොල්ලය ගැන නොදැනුවත් නම් ඔහු කොහොමද සිංහරාජය ආරක්ෂා කරන්නෙ?

තවදුරටත් කරුණු පැහැදිලි කරන ජයන්ත විජේසිංහ පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම, වනපාලකවරයාගේ පෞද්ගලික හෝටලය තුළම මෙම ජාවාරම සිදුවී තිබියදී, ඔහු ඒ පිළිබඳව නොදැන සිටීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවයි. සේවකයන් කාමර පිරිසිදු කිරීමේදී, CCTV කැමරා පරීක්ෂා කිරීමේදී හෝ මෙම උපකරණ සහ සතුන් ප්‍රවාහනය කිරීමේදී ඒ පිළිබඳව අවබෝධයක් නොතිබුණි යැයි පැවසීම පිළිගත නොහැකි අතර, මෙහිදී වනපාලකවරයාගේ සෘජු හෝ වක්‍ර අනුග්‍රහයක් ලැබී ඇත්ද යන්න පිළිබඳව පුළුල් හා අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.
එමෙන්ම, සිංහරාජයේ වන පාලකවරයා ලෙස පත් වීමට පෙර වන සංරක්ෂණ අඩවි නිලධාරියෙකු ලෙස රාජකාරී කළ යුතු අයෙකු එවැනි සංවේදී පරිසර පද්ධතියක් අසල දැවැන්ත ව්‍යාපාරික හෝටලයක් පවත්වාගෙන යාම සහ ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු ආකාරය පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය. ලබැඳියාවන් අතර ගැටුමක් (Conflict of interest) පවතිද්දී මෙවැනි නිලධාරීන් සංවේදී ලෝක උරුමයන් වෙත අනුයුක්ත කිරීමම සමස්ත වන සංරක්ෂණ යාන්ත්‍රණයේ පැවැත්ම ප්‍රශ්නාර්ථයට ලක් කරන්නක් බවද ඔහු පෙන්වා දෙයි.
“සිංහරාජ වන පාලකවරයා විදියට ඔහු පත් කරන අවස්ථාවේ අපි මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක වන සංරක්ෂක ජෙනරාල් නිශාන්ත එදිරිසිංහට පැහැදිලිව විස්තර කලා, මේ පත් කිරීම ළබැඳියාවන් අතර ගැටමක් ඇති කරන බව පැහැදිලි කළා. ඒ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැහැ.”
දීර්ඝ කාලයක් පුරා සිංහරාජය ආශ්‍රිතව සිදුවන වන අපරාධ, වනජීවී අපරාධවලට එරෙහිව පෙනී සිටින, සිංහරාජයට මායිම් ගම්මානවල ජීවත් වන ගම් වැසියන් නිරන්තරයෙන් දැනුවත් කරමින්, ඔවුන් දිරිමත් කරමින් පාරසරික ගොවිතැනට හා ග්‍රාමීය ජන ජීවිතය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට යොදාගැනීම සඳහා ඔවුන් ඒ සඳහා යොමු කරන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක, පරිසරවේදී සජීව චාමිකර ද මෙසේ අදහස් දැක්වීය.
ජෛව සම්පත් කොල්ලයේ ගොදුරු බිමක්
“සිංහරාජ අඩවිය කියලා කියන්නේ හෙක්ටයාර් 33,000ක් අයත් වන සුවිශේෂී වනාන්තර පද්ධතියක්. ජාතික උරුම වනභූමි පනත යටතේ ජාතික උරුමයක් ලෙසත්, යුනෙස්කෝ මගින් ලෝක උරුමයක් විදිහටත් නම් කළ, ඒ වගේම යුනෙස්කෝවේ මිනිසා හා ජෛවගෝල රක්ෂිතයක් ලෙසත් සුවිශේෂීව ජාත්‍යන්තරව සම්මුතීන්වලට වගේම දේශීය නීති පද්ධතියට අනුව වැඩිම ආරක්ෂාවක් තියෙන වනාන්තර පද්ධතියක්. මෙහි අධික ජෛව විවිධත්වයක් දකින්න ලැබෙනවා. ඒ නිසාම තමයි, ජාන කොල්ලය කියලා බොහෝ අය හඳුන්වන ජෛව සම්පත් මංකොල්ලයේ ගොදුරු බිමක් බවට සිංහරාජය පත් වෙන්නේ. පහුගිය ඉතිහාසය පුරා වාර්තා අරගෙන බැලුවොත් ලංකාවේ වැඩිපුරම ජෛව සම්පත් හොරකමට ගොදුරු වෙලා තියෙන වනාන්තර පද්ධතිය තමයි සිංහරාජය. මේ හේතු නිසාම මේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩි වගකීමක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දරන්න ඕනේ. වන සංරක්ෂණ ආඥා පනත සහ ජාතික උරුම වනභූමි පනත යටතේ මේ වනාන්තරය ආරක්ෂා කිරීමේ වැඩි වගකීමක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙනවා. නමුත් කුඩව සහ පිටදෙණිය වන සංරක්ෂණ කාර්යාල ප්‍රධාන වශයෙන්ම යොමු වෙලා තියෙන්නේ සංරක්ෂණ කටයුතුවලට නෙවෙයි, සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කිරීමටයි. සංචාරක කර්මාන්තය ද්විතීක කාර්යයක් වුණත් අද ඒක ප්‍රමුඛස්ථානයට ඇවිත්.
කුඩව කාර්යාලයේ වනපාලකවරයා ඇතුළු නිලධාරීන් පාරිසරික හානිකර ක්‍රියාවලීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. කුඩව කාර්යාලය ඉදිරිපිටින් රාත්‍රී කාලයේ බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරද්දීත්, දොළ රක්ෂිත හානි කරමින් සංචාරක හෝටල් ඉදිකරද්දීත්, පක්ෂීන්ගේ හඬ යොදාගෙන සතුන් කැඳවීම වැනි සංචාරක අකටයුතුකම් සිද්ධ වෙද්දීත් ඔවුන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. එහි අතුරුඵලයක් විදිහට තමයි මේ ජෛව සම්පත් මංකොල්ලය වර්ධනය වෙලා තියෙන්නේ.
අනෙක් අතට මේ නිලධාරීනුත් මේකට සම්බන්ධද කියලා ලොකු සැකයක් තියෙනවා. වනපාලකවරයා අද වෙනකොටත් රැඳී ඉන්නේ ඔහුගේ හෝටලය තුළ. මෙතරම් සතුන් ප්‍රමාණයක් එකතු කරලා, ගබඩා කරලා, රාත්‍රී කාලයේ සතුන් අල්ලන්න ගිහින් මේ සියලුම දේවල් සිද්ධ වෙලා තියෙන්නේ වනපාලකවරයාගේ හෝටලය තුළයි. මේවා හොර රහසේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි; සම්පූර්ණයෙන්ම ඔහුගේ අනුග්‍රහය යටතේ මේවා සිද්ධ වෙලා තියෙනවා කියන සැකය මතු වෙනවා.
ඒ නිසා වනපාලකවරයාගේ සම්බන්ධය ගැන වගේම මේකට සම්බන්ධ වුණු සංචාරක මගපෙන්වන්නන් සහ වාහන සම්බන්ධීකරණය කළ අය ගැනත් වනජීවී නිලධාරීන් දීර්ඝ විමර්ශනයක් කරන්න ඕනේ. විදේශිකයන්ට දඩ මුදලක් නියම වීම පමණක් නෙවෙයි, මේකට ආධාර අනුබල සහ රැකවරණය ලබා දීපු සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කළොත් විතරයි ඉදිරියේදී මෙවැනි දේවල් වළක්වන්න පුළුවන් වෙන්නේ.”

ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ කටයුතු සඳහා සක්‍රීයව දායක වන 1990 සිට ප්රාදේශීයව ක්‍රියාත්මක වන සිංහරාජ සුමිතුරෝ සංවිධානයේ සභාපති සනත් වසන්ත කුමාර මෙම ජෛව සම්පත් මංකොල්ලය පිළිබඳව මෙන්ම කුඩව වන අඩවි කාර්යාලයේ ක්‍රියාකලාපය ගැනද අදහස් පළ කළේය.
“සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස රැකබලා ගැනීම සිංහරාජ සංරක්ෂණ සැලස්මට අනුව වනපාලකතුමා හා අඩවි වන නිලධාරීතුමා මෙන්ම අනෙකුත් නිලධාරීන්ගේ වගකීම වුණත්, ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වෙලා තියෙන්නේ පැමිණෙන සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පමණයි. පැමිණෙන සංචාරකයන්ට මූලික හඳුන්වා දීමක්, අවවාදයක්, උපදේශයක්, දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. ඒ පිළිබඳව දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ උපදේශයක් මොවුන්ට ලැබිලා නැතුව ඇති. මේ කරුණ වඩාත් තහවුරු වෙන්නෙ සත්තු 250ක් විතර රහසිගතව අල්ලා ගෙන තබාගෙන තිබුණේ සිංහරාජ වනපාලකතුමා පුද්ගලිකව පවත්වාගෙන යන ඔහුගේ, ඔහුට අයිති හෝටලය තුළ. එතකොට වනපාලකගේ හෝටලය තුළ සත්තු ටික ආරක්ෂිතව රැස් කරන්න පුළුවන් කියන මට්ටමටම ඒ තනතුර හෑල්ලුවට පත්වෙලා.
කුඩව අඩවි වන කාර්යාලය සහ කලවාන අඩවි වනකාර්යාලය කියන දෙකෙන් තමයි සිංහරාජයේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කෙරෙන්නේ. ඒ වගේම පොතුපිටිය කත්ලාන ප්‍රදේශයේ සිංහරාජ වනජීවී කාර්යාලය තියෙනවා, මේ කාර්යාල තුනම තියෙද්දී, ගොඩක් ඈත ප්‍රදේශයක තියන කාර්යාලයක නිලධාරියකුට තමයි මේ රහසිගත තොරතුර ලැබිලා තියෙන්නෙ. ඒකෙන් පැහැදිලි වෙනවා, මේ කාර්යාල තුනම ගැන තොරතුරු දුන් පුද්ගලයා තුළ විශ්වාසයක් නැති බව. කලවාන අඩවියේ සිංහරාජ වනපාලක, සිංහරාජ සංරක්ෂණ සැලස්ම හා වනජීවී කාර්යාලයට කිසිම විදිහකට මේක කරන්න බැහැ, මේගොල්ලෝ මේකට සුදුසු නැහැ කියලා ඔහු හිතපු බව. මේ අවස්ථාවේ ඒ තොරතුර ලබා දුන් පුද්ගලයාට මෙන්ම ඒ සම්බන්ධ කටයුතු කරපු නිලධාරීන්ටත්, සිංහරාජ සුමිතුරෝ විදියට අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන්ට නැවත නැවතත් මේ වගේ කටයුතු බය සැක නැතුව ඉදිරියේදීත් කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ජාතියේ අභිමානය රැකගැනීමේ අභියෝගය
සිංහරාජයේ සිදුවූ මෙම මහා පරිමාණ ජෛව සම්පත් මංකොල්ලය සහ ඊට සම්බන්ධ ආයතනික ව්‍යුහයේ බරපතළ දූෂිත ස්වභාවය හුදෙක් එක් සිදුවීමකට පමණක් සීමා කළ නොහැකිය. එය වනාන්තර ආරක්ෂා කිරීමට සිටින බලධාරීන්ගේ සිට ඉහළම පරිපාලනය දක්වා පැතිරුණු පද්ධතිමය කඩාවැටීමක පිළිබිඹුවකි.
ජාතික උරුමයක් සහ ලෝක උරුමයක් වන සිංහරාජය යනු හුදෙක් ගස් කොළන් සහ සතුන් ගැවසෙන තැනක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන ප්‍රාණයයි. එවන් වූ භූමියක් ආරක්ෂා කිරීමට පත් කළ නිලධාරීන්ම එවැනි ජාවාරම්කරුවන්ට අනුබල දෙයි නම්, රටේ ස්වභාවික සම්පත්වලට අත්වන ඉරණම සිතා ගැනීමටත් නොහැකි තරමට බිහිසුණුය.
නීතියේ හිඩැස් වලින් රිංගා යමින් ජෛව සම්පත් මංකොල්ලයන් සිදු කළ විදේශීය මංකොල්ලකරුවන්ට එරෙහිව පමණක් නොව, ඔවුන්ට සිය ව්‍යාපාරික නිකේතනවල පහසුකම් සපයමින් රටේ ස්වභාවික සම්පත් පාවා දුන් දූෂිත නිලධාරීන්ට එරෙහිවත් කිසිදු සමාවකන් තොරව දැඩි දඬුවම් ලබා දිය යුතුය. එසේ නොමැති වුවහොත්, අනාගත ලෝකයට ඉතිරි වනු ඇත්තේ ජෛව විවිධත්වයෙන් හිස් වූ මළ වනාන්තරයක් පමණක් වනු ඇත. සිංහරාජය රැක ගැනීම යනු හුදෙක් ගස් ටිකක් රැක ගැනීමක් නොවේ. එහි වටිනාකම් ආරක්ෂා කර ගනිමින් අනාගත පරපුරට මේ ස්වභාවික උරුමයන් දායාද කිරීමයි.
සෝබා කෝලියවංශ





