/ Nov 14, 2026

යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නැහැ – කංචන සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියයි

තමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසයි.

දේශපාලනයේ නිරතව සිටි කාලය තුළ තමන්ට ලැබුණු අවස්ථා මෙන්ම, තමා කෙරෙහි තැබූ විශ්වාසය සහ තමන් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු සියලු දෙනාගෙන් ලැබුණු මඟපෙන්වීම්, නායකත්වය සහ දිරිගැන්වීම් වෙනුවෙන් අවංකවම කෘතඥ වන අතර එම කාල පරිච්ඡේදය දෙස අද යළි හැරී බලන්නේ කෘතඥතාවයෙන් බවයි ඔහු පවසන්නේ.

දේශපාලන ක්ෂේත්‍රයේ සිට ආයතනික ක්ෂේත්‍රයට මාරු වීමේ ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට මාස 23ක් ගත වී ඇති බවත් එය මුලින් අර්ධකාලීන කටයුත්තක් ලෙස ආරම්භ වුවද, ක්‍රමයෙන් පූර්ණකාලීන වගකීමක් සහ කැපවීමක් බවට පත්ව ඇති බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

තමන් එම කාර්යය අවංකවම භුක්ති විඳින අතර, එය තමන්ට මහත් තෘප්තියක් ද ගෙන දෙන්නක් බවද කියාසිටියි.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර විසින් සමාජ මාධ්‍යයේ තැබූ සටහන

”අද, නොවැම්බර් 14 වැනිදා මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරනවා. ඉන් පළමුවැන්න මගේ පියාගේ 84 වැනි ජන්ම දිනය සිහිපත් කිරීමයි. ඔහු අප හැර ගිය පසු එළැඹෙන පළමු උපන්දිනය ද මෙයයි.

මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක මම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළෙමි. එහි ප්‍රතිඵලය මා බලාපොරොත්තු වූ පරිදි නොවූවද, එය මගේ ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් විය. ඉන් මාසයකට පසු මම දේශපාලනයෙන් සහ ඊට අදාළ සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමි.

දේශපාලනයේ නිරතව සිටි කාලය තුළ මට ලැබුණු අවස්ථා මෙන්ම, මා කෙරෙහි තැබූ විශ්වාසය සහ මා සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු සියලු දෙනාගෙන් ලැබුණු මඟපෙන්වීම්, නායකත්වය සහ දිරිගැන්වීම් වෙනුවෙන් මම අවංකවම කෘතඥ වෙමි. එම කාල පරිච්ඡේදය දෙස අද යළි හැරී බලන්නේ කෘතඥතාවයෙනි.

දේශපාලන ක්ෂේත්‍රයේ සිට ආයතනික ක්ෂේත්‍රයට මාරු වීමේ ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට මාස 23ක් ගත වී ඇත. එය මුලින් අර්ධකාලීන කටයුත්තක් ලෙස ආරම්භ වුවද, ක්‍රමයෙන් පූර්ණකාලීන වගකීමක් සහ කැපවීමක් බවට පත්ව ඇත. මම එම කාර්යය අවංකවම භුක්ති විඳින අතර, එය මට මහත් තෘප්තියක් ද ගෙන දෙයි.

මෙම වෙනස මගේ ජීවිතයට වෙනස්ම රිද්මයක් සහ දෘෂ්ටිකෝණයක් ගෙන දී ඇත. පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට හැකි වීම, මගේ සෞඛ්‍යය සහ ශාරීරික යෝග්‍යතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ලැබීම, සංචාරය කිරීමට වැඩි අවස්ථාවන්, වැඩි පෞද්ගලිකත්වයක් සහ පෞද්ගලික ඉඩකඩක් ලැබීම, නව අත්දැකීම් මෙන්ම විවිධ කර්මාන්ත, ව්‍යාපාර සහ මා අවට ලෝකය පිළිබඳව තවදුරටත් ඉගෙන ගැනීමට ලැබීම මින් සිදුවිය.

ජීවිතය මට නව මංපෙත්, නව රුචිකත්වයන් සහ පුද්ගලික මෙන්ම වෘත්තීය දියුණුව සඳහා නව අවස්ථාවන් විවර කර දී ඇත.

මම දේශපාලනයෙන් ඉවත් වී ඇති අතර, නැවත දේශපාලන ජීවිතයට හෝ දේශපාලන ක්‍රියාකාරකම්වලට පිවිසීමට කිසිදු අදහසක් හෝ කැමැත්තක් මට නොමැත. මා තෝරාගත් මාර්ගය පිළිබඳව මම සෑහීමකට පත්වන අතර, ඉදිරියේදී එළැඹෙන දේ සාදරයෙන් පිළිගැනීමට බලාපොරොත්තු වෙමි.

ජීවිතයේ සෑම පරිච්ඡේදයකටම ඊටම ආවේණික අරමුණක් ඇත. සමහර පරිච්ඡේද අපට යමක් උගන්වයි, සමහරක් අපව හැඩගස්වයි, තවත් සමහරක් අපව සම්පූර්ණයෙන්ම වෙනස් ගමනක් සඳහා සූදානම් කරයි.
අද දිනය සිහිපත් කිරීම්, ආවර්ජනය කිරීම් සහ කෘතඥතාව පළ කිරීම්වලින් පිරුණු දිනයකි.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top