/ Nov 21, 2026

වාහන ලීසිං නීති දැඩි වෙයි – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්!

වාහන සඳහා ණය ලබා දීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදී තිබූ වාහනයේ වටිනාකම මත ලබා දෙන ණය අනුපාතිකය (loan to value ratio) සම්බන්ධ මාර්ගෝපදේශ මගහරිමින්, ඇතැම් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන තම ගණුදෙනුකරුවන් හට අනිසි ආකාරයෙන් සිදුකරනු ලබන ණය ලබා දීම් වැළැක්වීම සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව,

ලියාපදිංචි නොකළ අලුත් (Brand-New) වාහන: බලයලත් අලෙවි නියෝජිතයකු නිකුත් කරන බදු ඉන්වොයිසියේ (Tax Invoice) සඳහන් අවසන් ගෙවිය යුතු මිල මත වාහනයේ වටිනාකම

විදෙස් රටවල භාවිතා කළ වාහන (Reconditioned): ආනයනකරු නිකුත් කරන බදු ඉන්වොයිසියේ (Tax Invoice) සඳහන් අවසන් ගෙවිය යුතු මිල හෝ රේගු නිෂ්කාශනයේදී සලකා බලන ලද වටිනාකම

ලියාපදිංචි කළ වාහන: වෘත්තීයමය තක්සේරුකරුවකු විසින් නිකුත් කරන ලද තක්සේරු වාර්තාව, පදනම් කරගනිමින් වාහනයේ වටිනාකම මත ලබා දෙන ණය මුදල ගණනය කළ යුතුව ඇත.

2026 නොවැම්බර් 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දෙන්නේ මෙය අවදානම් වැළැක්වීමේ පියවරක් බවයි.

“අපිට පැමිණිලි ලැබිලා තියනවා, විශේෂයෙන්ම සමහර ආයතන විසින් අර value එකෙන්නේ වටිනාකම අරගෙන ණය දෙන්නේ. ඒ වටිනාකම නියමිත වටිනාකම නෙවෙයි. ඊට වඩා වැඩිපුර අධිතක්සේරු කළ වටිනාකමක් පෙන්වලා, ඒකෙන් වැඩිපුර ණය ගන්නවා කියන එක. ගන්න කෙනාටත් අවදානමක්, ණය දෙන කෙනාට විදියට බැංකුවටත් ඒක අවදානමක්. එතකොට ඒක වැලැක්වීම සඳහා තමයි මේක අරගෙන ආවේ. විශේෂයෙන් අධිතක්සේරු කරලා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ණය ගැනීම වැළැක්වීමට තමයි ඒක ගෙනාවේ. ඒක මොටර් රථවලට පළමුවත්, තව එක දිගටම තිබුනොත් අනිත් ඒවටත් ගේන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top