/ Jul 27, 2025

අහසට වෙඩි තබා හල්ඔළුවගේ ලිපිගොනු පැහැරගෙන – සිද්ධිය සැකෙවින්

පසුගිය පළාත් පාලන මැතිවරණය ආසන්නයේ ජනපතිවරයා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයෙකු වූ තුසිත හල්ඔළුව ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඔහු විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් රහස් පොලිසියට ලද පැමිණිල්ලක් මත පැය 7ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසුවයි ඊයේ (17) රාත්‍රී මෙම සිදුවීම සිදුවූ බව පැවසෙන්නේ.

නාරාහේන්පිට දාබරේ මාවතේදී මෙම වෙඩි තැබීම සිදුවූ බව කියැවේ. රියදුරු සහ හල්ඔළුවගේ නීතිඥයා බව පැවසෙන දිනේෂ් දොඩංගොඩ රථයේ ගමන් කරමින් සිට තිබේ. රථය පසුකර යතුරුපැදියකින් ගමන් කළ වෙඩික්කරුවන් දෙදෙනා අහසට වෙඩි කිහිපයක් තබා පසුව රථය නතර කිරීමෙන් පසුව ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයේ වම්පසට වන්නට එක් වෙඩිල්ලක් තබා ඇතැයි සඳහන්. වම්පස ආසනයේ කිසිවෙකු ගමන් කරමින් සිට නැත.

වෙඩි ප්‍රහාරවලින් කිසිම හානියක් රථයේ ගමන් කළ අයට සිදුව නැති අතර වෙඩික්කරුවන් පහරදුන් බව කියමින් හල්ඔළුව සහ නීතිඥයා රෝහල්ගතව ඇත.

වැදගත් තොරතුරු අඩංගු ලිපිගොනුවක් පැහැරගෙන ගිය බවට හිටපු ජනපති අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙතැයි කියැවේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන පවත්වනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top