කිසිදු චලනයක් නැතුවා සේ ඉන්නා ඉතිහාසය ඇතැම්විට හුස්ම ගනී; කතා කරයි. එහි තදබදව ඇති ඇතැම් දේ අතර සේයා රූ ද ඇත. එබඳු ඓතිහාසික ඡායාරූපයකි ඔබ මේ දකින්නේ..

ඇත්තටම මෙහි පෙනී සිටින “Qajar කුමරිය” ලෙස හැඳින්වෙන ඇයගෙන්, ප්‍රතික්ෂේපිත වූ ආදර ආතුරයන් දහතුන් දෙනෙක් සිය දිවි නසා ගත්තාද….
ඇය එබඳු රූමතියක්ද…
ඔබේ සිත එක්වනම ප්‍රශ්න නඟනවා නොවේද ?
මෙම සේයාරුව ද, විවිධ සිරස්තල සහිත ව පසුගියදා වෛරල් වූ මීමය(meme) නිසා Esmat Al Dowleh (1855/6 – 1905) නමැති ඇය යළි ජීවය ලබන්නීය.
එය පළ වූ විට පැන නැගී පළමු කුකුස වූයේ, යම් පුරුෂයෙක් Esmat කුමරිය ලෙස පෙනී සිටිනවාද යන්නයි.. නැතහොත් කුමරියට යම් සමච්චලයක්වත් කිරීමට හිතුවාවත්ද…
ගැහැනියකගේ සුන්දරත්වය පිළිබඳ නූතනයේ ඇති, අතිසාමාන්‍ය සංකල්පවලට අභියෝග කරන්නියකි ඇය.
Esmat ගේ “පිරිමි පෙනුම” තීව්‍ර කරන ඇගේ උඩු රැවුල එකල සුරූපී බවේ සලකුණකි. හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Afsaneh Najmabadi ට අනුව තහවුරු වන්නේ එකී රූමත් බවේ “උඩු රැවුල් සළකුණ” 19 වන සියවසේ වෙසෙසින් පැදකුනු කර ඇති බවකි.
ඇය ප්‍රතික්ෂේප කිරීම නිසා, මිනිසුන් දහතුන් දෙනෙකු සිය දිවි නසා ගන්නට තරම් ඇය සුරූපිනියක්ද යන්න පවසමින් ඇයට උපහාසයක් ද යන්තමින් තැවරූ ඒ මීමය (meme) නිසා ඇවිස්සුණු ඉතිහාසයෙන් මතු වූ මේ Esmat ගැන කතා කළ යුතු වන්නේ ඇගේ ඒ පෙනුම නිසා නොවේ.
එසේ වෛරල් වූ මීමයට වඩා ඇය ඉතා සුවිශේෂී චරිතයකි.
ආචාර්ය Afsaneh ගේ “Women with moustaches and men without beards: Gender and Sexual Anxieties of Iranian Modernity” පොතට අනුව නම් ඇය පර්සියානු රජවාසලේ කැපී පෙනුණේ ඇගේ පෙනුම අභිබවනසුළු අපූරු තේජස නිසාය.
ඇය ඇත්තෙන්ම අයත් වන්නේ ඉතිහාසයේ ස්ත්‍රී රුව පිළිබඳ නන් වැදෑරුම් අල්ලාප, සල්ලාප ඛහාලූ කුණු බක්කියට නම් නොවේ.
අන්තඃපුරයක ඉපදෙන ඇයට, අවුරුදු නවයේදී හෝ දහයේ දී විවාපත් වන්නට සිදුවේ. සෙසු අන්තඃපුර ස්ත්‍රීන් අතරේ හැදෙන,වැඩෙන ඇයට පෙම් බැඳී පිරිමි දහතුනක් හමුවීම ඒ හැටි තහවුරු නොවන හිතළුවකි. අනෙක් අතට පීතෘමූලික පර්සියාවේ, විවාපත් ලඳක් ලෙස පිරිමි දහතුන් දෙනෙකු ඇයට වසඟවීමද පිළිගත හැකි යමක් නොවේ.
Nasir – al – Din Shah Qajar ගේ, දෙවැනි දියණිය වන ඇය, ඇගේ පියාගේ ඉමහත් විශ්වාසය දිනා ගත්තීය. ඇය, සිය රජ මැදුරට පැමිණෙන විදෙස් දූතිකාවන්ගේ, දයාබර සත්කාරිකාව වන්නීය. එකල සම්ප්‍රදාය නොතකන ඇය, පියානෝ වාදිකාවක මෙන්ම ඡායාරූප ශිල්පිණියකි. ඇයට ඇගේම ස්ටුඩියෝවක් තිබිණි.
සිය ස්වාමිපුරුෂයා, ඔහුගේ රටට, නැවත පිටත් කර හැරවීමට සිය පියාණන් නතුකර ගන්නා ඇය, හුදෙක් අන්තඃපුර කුමාරිකාවකගේ සරාගී පෝ”ර්’ට්ට්‍රේටුවෙන් බැහැරවන විශ්මිත ආලෝකයකි. ඇය ‘Qajar කුමරිය’ යන උදෘතයෙන් හැඳින්වෙන තාලයේ ලඳ, බොලඳියක් නොවේ. එමෙන්ම ඇගේ අර්ධ සොයුරිය Zahra Khanum (1884 -1936) ද ඒ යුගයේ ජ්වලීත කතකි. Taj ලෙසද හැඳින්වෙන ඇය, ස්ත්‍රීවාදිනියක මෙන්ම ජාතිකවාදිනයකි. ඇය, පර්සියාවේ සංස්කෘතික හා ව්‍යවස්ථාමය විප්ලවයට සිය ජවය ලබා දුන්නීය.
අප මුලින් සඳහන් කළේ Esmat සොයුරිය වන Taj ගේ මතක සංචිතයන් මුද්‍රණය වී ඇත්තේ ‘Crowning Anguish: Memoirs of a Persian Princess from the Harem to Modernity. ‘ (1884 -1914) ලෙසිනි.
ඇය එහි මෙසේ පවසන්නීය.
“මගේ වර්ගයා නිදහස ලබන, මගේ මව්බිම දියුණුවට පත්වන, යම් දවසක, ඒ නිදහස් සටන වෙනුවෙන්, සිය අයිතිවාසිකම් වෙනුවෙන්, පෙනී සිටින මගේ ආදරණීය සගයන්ගේ පතුල් යටින් මගේ රුධිරය නිදහසේ ගලන්නට මම මගේ ජීවිතය පූජා කරමි.”

ඇත්තෙන්ම Esmat හා Taj හඳුන්වා දිය යුතුව ඇත්තේ හුදෙක් බාහිර ස්වරූපයන් සාධක කොට නොවේ.
යම්තාක් දුරකට විප්ලවීය මෙන්ම ගෞරවනීය වූ මෙහෙවරක යෙදුණු, බලසම්පන්න කාන්තා අයිකන (icons) ලෙසට, ඉතිහාසය තුළ ඔවුන්ගේ ගැවසීම ප්‍රමුඛව ගැනීමෙනි.
‘Qajar කුමරිය’ ලෙස, ලොව පුරා ක්ෂණයකින් පිපිරී ගිය ඒ සේයාරුවෙන් ධ්වනිත කළ, ව්‍යාජ සන්දර්භය මරණයට ලක්කර, ඉන් සත්‍ය උත්පාදනය කර ගැනීම, ඔවුන්ගේ විප්ලවීය කාන්තා පෞරුෂයට, මල්දම් පළඳවනු ඇත.
ඡායාරූප: Harvard University data base.
‘Women’s worlds in Qajar Iran.’