/ Aug 07, 2025

මහ පාරේ ධාවනය වූ අබලන් වාහන 44ක් ගැන ගත් තීරණය

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබේ.

ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ රිය අනතුරු අවම කිරිමේ අරමුණින් බගතොලුව ප්‍රදේශයේ දී මෙම හදිසි වාහන පරීක්ෂාව සිදුකර තිබුණු අතර, එහිදී වාහන 115ක් පරීක්ෂාවට ලක්කළ බව සඳහන්.

එහි දී අධික ලෙස වායු විමෝචනය තිබූ වාහන, අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන 44ක් ධාවනයෙන් තාවකාලිකව ඉවත්කර තිබේ.

මෙලෙස තාවකාලිකව ධාවනය තහනම් කළ වාහන අතර, ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක් ඇතුළත්ව ඇත.

ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගෙන ඇති අතර, එම වාහන අලුත්වැඩියා කර මේ මස 30 වැනිදා වාහන පරීක්ෂා කළ ස්ථානයටම රැගෙන විත්, යළිත් පරීක්ෂාවට යොමු කළ යුතු බවට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කිරීමටත්, මෙම වාහන පරීක්ෂාවේ දී මෝටර් රථ පරික්ෂකවරුන් උපදෙස් ලබා දී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ ඉල්ලීමක් මත, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශයේ නිලධාරින් සමග එම දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂක එම්. එස්. එල්. චන්දන බණ්ඩාර මහතා විසින් මෙහි කටයුතු අධීක්ෂණය කර ඇත.

මෙම අවස්ථාවට ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා ඇතුලු රථවාහන අංශයේ නිලධාරින්ද එක්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top