/ Jun 26, 2025

ඊශ්‍රායලයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ලක්මව සොයා එයි ; තවත් පිරිසක් පෝලිමේ

ගෙවුණු පැය 24 තුළ යුද ගැටුම්වලින් ශ්‍රී ලාංකිකයින්ට සිදුවූ අනතුරු සම්බන්ධයෙන් වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ රැඳීසිටින තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හෙට (24) දිනයේ දී එලාට් නගරය වෙත ගොස්, ටබා දේශසීමාව හරහා කයිරෝ ගුවන්තොටුපොළට පැමිණ මෙරටට පැමිණීමට නියමිත බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ.

එමෙන්ම මෙරටට පැමිණීමට පිටත්වීම සඳහා තවත් 12 දෙනෙකු තානාපති කාර්යාලයට ඊයේ පැමිණ ඇති අතර ඉදිරි දිනවල ඔවුන් මෙරටට පිටත්වීමට නියමිත බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

ඊට අමතරව ඊශ්‍රායලයේ සේවය කරන සිය ප්‍රජාව රැගෙන යාමට ඉන්දීය රජය ජෝර්දානයේ අම්මාන් ගුවන්තොටුපළේ සිට නවදිල්ලි ගුවන් තොටුපළ දක්වා ගුවන්යානා කිහිපයක් ක්‍රියාත්මක කරන අතර ඒවායේ ශ්‍රී ලාංකිකයින් ගණනාවකට ආසන සැපයීම කළ හැකි බව ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති කාර්යාලය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම්දී තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ එම ගුවන් යානාවලින් ගමන්වාර ලබාගැනීම විදේශ අමාත්‍යාංශය අනුමත කර ඇති බවය.

ඒ අනුව එම යානාවලින් මෙරටට පැමිණීමට අපේක්ෂා කරන පිරිස අද සහ හෙට තානාපති කාර්යාලයේදී ලියාපදිංචි කරන බව තානාපතිවරයා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top