පසුගිය දා කොළඹ මහනගර සභාවේ නගරාධිපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී කලබැගෑනියක් ඇති විය. ඡන්දය රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද යනාදී වශයෙන් තීරණය කැර ගැනීමේ ගාලගෝට්ටියකි. ඒ අස්සේ, තියුණුව නැගී බහුතර හඬ අස්සේ යට වී ගිය බසක් විය.
“කෝ මේ ඡන්ද පත්‍රිකාවෙ දෙමළ භාෂාවෙන්? ඇයි සිංහල සහ ඉංග්‍රීසි විතරක් තියන්නෙ? මේක අසාධාරණයක්!”
එසේ හඬ නැගුවේ, සැලකිය යුතු ඡන්ද සංයුතියක් කොළඹ පවතින දෙමළ ප්‍රජාවේ නාගරික මහජන නියෝජිතවරියක් බව සිතමි.
තත්වය තවමත් එසේ ය!
උතුරේ , දකුණේ සහ මලයහ දමිළ ප්‍රජාවගේ ප්‍රශ්න ගැන දසක තුනක් පමණ තිස්සේ මටද අද්දැකීම් තිබේ. වඩා සමීප මලයහ දමිළ ප්‍රජාවයි. වසර 200ක් පමණ තිස්සේ ඔවුන්ගේ දිවි මග සංවර්ධනය වූයේ ලෝකයේ ගමන් මගට වඩා සෑහෙන සෙමෙන් බව කවුරුත් පිළිගත යුතු ඇත්තකි.
රට ඔසවාගෙන සිටින ප්‍රධාන බලවේග තුනෙන් එකක් වන තේ කර්මාන්තයේ – සිලෝන් ටී නාමයේ ගාමක බලය වන මලයහ ප්‍රජාවට මේ අද වන තෙක් සාධාරණ වැටුපක් ලැබෙන්නේ නැත. වාසස්ථාන තවමත් තරම් නොවේ. රටේ දරුවන්ගෙන් ගණිතය විෂය අසමත් වැඩිම ප්‍රතිශතය සිටින්නේ මලයහ ප්‍රජාවේ ය. පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපනය ඉතාම දරිද්‍ර සීමාවේ තිබේ.
අනෙක් අතට යුරෝපයේ වෙළඳාමට ඇතුළු වූ පසු, සාධාරණ අවස්ථාවන් බෙදීමක් අපේක්ෂා කරන යුරෝපීය ප්‍රජාවන් ශ්‍රමික ජනයාගේ පැවැත්ම ගැනද සොයා බලති. ජී.එස්.පී. ප්ලස් වැනි සහන පවතින්නේ ඒවා සමඟ බැඳී ය. ඔවුන්ද සිය විමසුමැස මේ දෙස යොමු කරති.
එහෙත් තවමත් දේවල් සිදුවන්නේ ඉබි ගමනෙනි.
වතුකරයේ ජනයාට නිවාස වෙනුවට මහල් නිවාස යෝජනාවක් ජාතික ජනබලවේග රජය පත් වූ අලුතම සාකච්ඡා වූයේ ය. අප දන්නා බොහෝ ඉදිරිගාමී අදහස් ඇති අයවලුන්ද ඒ හා එක් ව අදහස් දැක්වූවෝ ය. වසර 200ක් තිස්සේ නිවාස සිහිනය සැබෑව නැති ප්‍රජාවකට මහල් නිවාස යෝජනා කරන්නට අනෙකුන්ට ඇති අයිතිය කුමක් ද? ඒ යෝජනා හා සමපාත වන අය තමන්ගේ නිදහස් නිවාස අත්හැර මහල් නිවාස වෙත යන්නට සූදානම් ද ?
ප්‍රශ්න වන්නේ මේවා ය!
මේ ගැටලු වෙනුවෙන් මැදිහත් වුණු කණ්ඩායම් බොහෝ ය. දේවල් සෙමෙන් හෝ වෙනස් වෙමින් තිබීම දෙස ධනාත්මකව බැලිය යුතු ය. ඒ වෙනස්කම් සිදුවූයේ එක් රැයකින් නොවේ. ලේ, කඳුළු, දහදිය, අකුරු, සේයාරූ මේ සැම දේ ම ඊට පරදු තැබිණ.
ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අනෙකුත් ප්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන්ට මේ ගැටලු කෙරෙහි නැමෙන සහානුභූතියක් නිර්මාණය කිරීම සෑහෙන තරම් තීරණාත්මක බව අප ප්‍රායෝගිකව දනිමු. විශේෂයෙන් මලයහ – කඳුකර දමිළ ප්‍රජාවේ තත්වය ස්වභාවික සහ එය යථාර්ථය ලෙස භාර ගැනීමට පුහුණු වී ඇති පරම්පරාවක් සබුද්ධික කිරීම සිතනවාට වඩා තීරණාත්මක ය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලිකව 2020 වසරේ අරඹනු ලැබූ සංස්කෘතික වැඩසටහන් කිහිපයක් මෙහි, වැදගත් මං සලකුණක් සටහන් කරයි. තේ කහට නමින් සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප මලයහ දමිළ ප්‍රජාවේ තරුණ ඡායාරූප ශිල්පීන්ට තම ප්‍රජාව කැමරා කාචයට හසුවුණ සැටි පෙන්වයි. අප දන්නා පරිදි එය රට පුරා විවිධ දිස්ත්‍රික්වල ජනතාවට දැකගැනීමට හැකි විණ.
කෙසේ වෙතත්, එහි දැක්වී තිබුණේ කඳුකර ප්‍රජාවේ දුක් කම්කටොලු පමණක් බවට සමහර අදහස් පැන නැංග බැව් දුටිමි. අපේ කල්පනාව නම් බ්‍රෙෂ්ට් ලිව්වාක් මෙන්, අඳුරු යුගයේ කවි ලියැවෙන්නේ අඳුරු යුගය ගැනම පමණකි.
කෙසේ වෙතත්, වසර 5කට පසුව ඔවුන් විසින් “200+: Beyond the Struggle” නමින් සේයාරූ සහ වීඩියෝ ප්‍රදර්ශනයක් ලයනල් වෙන්ඩ්ට් හිදී (ජුනි 23 සහ 24 දිනවල) සංවිධානය කර තිබේ. මෙහි මලයහ දමිළ ප්‍රජාවේ සුඛ – දුක්ඛ බොහෝ මොහොතවල් ග්‍රහණය කර තිබේ.
අයිතිවාසිකම් අහිමිව ශත වර්ෂ දෙකක් තිස්සේ, පීඩා විඳින ජනයින්ගේ ප්‍රශ්න බොහෝ විට කතිකා වූයේ පරිධියේ ඇසකිනි. මෙම ප්‍රදර්ශනයේ එම ඇස ඔවුන්ගේ ම ය.
මෙවැනි කලාත්මක වෑයම් වැඩි වැඩියෙන් අවශ්‍ය බව කිව යුතු ය. වාර්ගික ප්‍රශ්නය විසඳීමේ සැබෑ වුවමනාවක් තිබේ නම්, මලයහ ප්‍රජාව අමතක කර යා නොහැකි ය.
තේ කහට ප්‍රදර්ශනයේ තෝරාගත් සේයාරූ කිහිපයක් පහත පළ වේ.







සඳුන් ප්‍රියංකර විතානගේ