එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටකර් මෙරට පැමිණ දින තුනක් පමණ පුරා විවිධ ආයතන සහ ප්‍රධානීන්, ආගමික නායකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මුණ ගැසෙමින් කටයුතු කළේ ය. අවසාන වශයෙන් ඔහු ජනපතිවරයාද හමු වූයේ ය. මානව හිමිකම් කොමසාරිස්ගේ ආගමනය විශේෂ වැදගත්කමක් දරයි.
කෙසේ වෙතත්, ඔහුගේ පැමිණීම වෙනත් අවස්ථාවලදී මෙන් රට තුළ අන්තාවාදී නැටුම් නැටීමට ඉඩක් නැති සන්දර්භයක් නිර්මාණය වී තිබීම ඇගයිය යුතු ය.
සංචාරය පිළිබඳ සහයෝගය වෙනුවෙන් කොමසාරිස්වරයා රජයට කෘතඥතාව පළ කළේ ය. විවිධ ස්ථානවල සංචාරය කළ ඔහු, විශේෂයෙන් යාපනයේ චෙම්මනි සමූහ මිනීවල මෙන් ම දකුණේ 88-89 තරුණ අතුරුදහන් වීම ගැනද කරුණු සොයා බැලීය. පෙරට වඩා යාපනයේ සිය සමීපතමයන් අනුස්මරණය සඳහා ඉඩකඩ තිබෙන බව තමා නිරීක්ෂණය කළ බව පැවසීය.
අතීත රජයන්වල උරුමයන් නව රජයට භයානක අභියෝගයක් ඉදිරිපත් කර ඇතත්, ජනපතිවරයාගේ ක්‍රියාකාරිත්වය විසින් සියලු ප්‍රජාවන්ගේ වේදනාව සහ ශෝකය බෙදා ගැනීම ඔහු අගය කර තිබේ.
කෙසේ වෙතත්, ඔහු වින්දිතයන්ගේ විශ්වාසයැති ජාතික වශයෙන් හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර සහයෝගය ඇති වගවීමේ යාන්ත්‍රණයක් ගැන බලාපොරොත්තු පළ කළේ ය.
මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වැදගත්ම ප්‍රකාශයක් ලෙස දැක්විය හැක්කේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවලංගු කරන ලෙස කළ ඉල්ලීමයි. දිගුකාලීනව එම පණත යටතේ රඳවා සිටින රැඳවියන් සහ සිරකරුවන් කඩිනම් සමාලෝචනයක් කර නිදහස් කරන ලෙසද හේ ඉල්ලා සිටී. මාර්ගගත ආරක්ෂණ පණතද අහෝසි කළ යුතු බව කොමසාරිස්වරයා කියා සිටියේ ය.
මෙවර මැතිවරණයේදී 9.8%ක ප්‍රතිශතයක් කාන්තාවන් පාර්ලිමේන්තුවට ආ අතර එය අතීතයට වඩා ඉහළ බව පවසන කොමසාරිස්වරයා එහි තවත් ප්‍රගතියක් ඉල්ලා සිටී. සමලිංගික සබඳතා අපරාධයක් නොවන බව දැක්වීමේ පණත ගැන ඔහු සිය ප්‍රසාදය පළ කළේ ය.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන ලෙස මුස්ලිම් විවාහ සහ දික්කසාද පණත සංශෝධනය කළ යුතු බවටද ඔහු අවධාරණය කළේ ය.
වතුකර ප්‍රජාවගේ ඉඩම් නිවාස සහ වැටුප් වර්ධනය කිරීම ගැනද ඔහු සඳහන් කළේ ය.
හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ආර්ථික වශයෙන් භාවිතා කරන ඉඩම් නිදහස් කිරීමේ වැදත්කමද මතු කළ මානව හිමිකම් කොමසාරිස්වරයා, පුරාවිද්‍යාත්මක,ආගමික සහ සංරක්ෂණ ගැටලු සම්බන්ධ ඉඩම් ආරවුල් ප්‍රජාවන් සමඟ සාකච්ඡා කර විසඳීමේ වැදගත්කම කියා සිටියේ ය.
නව රජය ජාතික සමගිය පිළිබඳ තබා ඇති මූලික ඉලක්කය ගැන සිහිපත් කළ ඔහු තම කාර්යාලය ඊට සහය ලබා දෙන බව පවසයි.
යුද්ධ, ආර්ථික අසමානතාව සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්මතයක් බවට පත්වෙමින් යන ලෝකයක ශ්‍රී ලංකාව බලාපොරොත්තුවේ කතාවක් බවට පත්විය හැකි බව තම ප්‍රාර්ථනාව බවත් ඒ සඳහා රජය සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීම තම අපේක්ෂාව බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටකර් අවසන් වශයෙන් දක්වා සිටියේය.