පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල දිවයින පුරා පාසල්වල පැවැත්වේ. සුපුරුදු පරිදි බොහෝ ප්‍රකට පාසල්වල ආදිශිෂ්‍ය සංගම් නැති බලයක් ආරූඪ කරගනිමින් විවිධ ක්‍රම හරහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බව වාර්තා වේ. ආදිශිෂ්‍ය පදනමින් සිසුන් ඇතුළත් කර ගැනීම පිණිස ලකුණු ලබා දීමේ ක්‍රමවේදයන් නිර්මාණය කරගනිමින් නීතිවිරෝධී අන්දමින් පාසල් වෙත මුදල් ලබා ගන්නා බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නිල චක්‍රලේඛයේ (උදාහරණයක් ලෙස අංක 25/2026 චක්‍රලේඛයේ) “සාමාන්‍ය උපදෙස්” යටතේ මේ පිළිබඳව සඳහන් කර ඇති ප්‍රධාන කොටස මෙපරිදි ය.
පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේදී හෝ ඊට සමගාමීව, අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික ගාස්තු හැර, වෙනත් කිසිදු මුදලක්, උපකරණයක්, ද්‍රව්‍යයක් හෝ වෙනත් පරිත්‍යාගයක් (Donations) දෙමාපියන්ගෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් ලබා ගැනීම සපුරා තහනම් වේ.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් ලංකා ටයිම්ස් අප කරුණු විමසුවෙමු.
“මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් අධ්‍යාපන අමාත්‍යංශයට ලැබිලා තියනවා. ඒ අය කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බවක් පේන්නෙ නෑ. පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ නිල චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කරලා තියනවා මුදල් ලබා ගැනීම නීතිවිරෝධී බව. ආදි ශිෂ්‍ය සංගම්වල එකම කාර්යය වෙලා තියන්නෙ ඉස්කෝලෙ කටයුතු. ආදි ශිෂ්‍ය සංගම් ගැන පැහැදිලිව සඳහන් කරලා තියනවා වර්තමාන ශිෂ්‍යයන්ගෙන් මුදල් එකතු කරන්න බෑ කියලා. ඔවුන්ට යමක් ඉස්කෝලෙට කරන්න ඕන නම් තමන්ගෙ අතින් වියදම් කරලා ඔවුන් කරන්න ඕන. ළමයි ඇතුළත් කිරීමේදී විවිධ අන්දමින් මුදල් එකතු කරනවා කියලා වාර්තා වෙනවා. ආණ්ඩුව – අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වෙලා මේවා නවත්වන්න ඕන. අධ්‍යාපන ලේකම් වෙත පැමිණිල්ලක් කළාම අනිවාර්යෙන් මැදිහත් වෙන්න ඕන. ඒක සිද්ද නොවෙන එක තමා ප්‍රශ්නය.”






