ඉතිහාසයේ පළමු වරට අඟහරු ග්රහයාගේ චන්ද්රයෙකුගෙන් සාම්පලයක් පෘථිවියට රැගෙන ඒමේ අපේක්ෂාවෙන් අද (20) අලුයම විශේෂ රොකට් යානයක් අභ්යවකාශගත කර තිබේ.
ජපන් අභ්යවකාශ ගවේෂණ ආයතනය (JAXA) දියත් කළ, ගගනගාමීන් රහිත එම යානය නම් කර ඇත්තේ MMX ලෙසිනි.
මෙය, මෙරට වේලාවෙන් අද (20) අලුයම 01.11ට පමණ ජපානයේ කියුෂු දූපතේ තනෙගෂීමා අභ්යවකාශ මධ්යස්ථානයෙන් අදාළ යානය අභ්යවකාශගත විය.
ජපානයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මෙම මෙහෙයුම සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය, ප්රංශ, ජර්මානු සහ යුරෝපීය අභ්යවකාශ ඒජන්සි ද දායකත්වය ලබා දී තිබේ.
ලබන වසරේ (2027) අගෝස්තු මාසය වන විට අඟහරු ග්රහයාගේ “ෆෝබෝස් චන්ද්රයා” වෙත ළඟා වීමට නියමිත අදාළ MMX යානය, “රෝවර් රොබෝ යානයක්” හරහා පාංශු සාම්පලයක් රැස් කර ගැනීමට නියමිත අතර අඟහරු ග්රහයාගේ චන්ද්රයන්ගේ අර්තාපල් ගෙඩියක් වැනි හැඩය සහ ඒවා ප්රමාණයෙන් කුඩා වීම හේතුවෙන් ෆෝබෝස් චන්ද්රයා මත අභ්යවකාශ යානය ගොඩබැස්වීම අසීරු කාර්යයක් වනු ඇති බවට විදෙස් වාර්තාවල සඳහන් වෙයි.
ග්රෑම් 10ක් බරැති අදාළ සාම්පලය යළි පෘථිවියට ළඟා වීමට නියමිතව ඇත්තේ 2031 වසරේ වන අතර එම සාම්පලය හරහා අඟහරු ග්රහයාගේ චන්ද්රයින් නිර්මාණය වූ ආකාරය සහ ඒවායේ පැවැත්ම පිළිබඳව අධ්යයනය කෙරෙනු ඇති.
සෞරග්රහ මණ්ඩලයේ අභ්යන්තර කොටසේ ඇත්තේ පෘථිවියේ ලූනා චන්ද්රයා සහ අඟහරු ග්රහයා වටා භ්රමණය වන ෆෝබෝස් සහ ඩීමෝස් යන චන්ද්රයින් පමණක් බව විදෙස් මාධ්ය වැඩි දුරටත් වාර්තා කරයි.





