පසුගිය ඉරිදා උදෑසන ජාතික රූපවාහිනියේ සම්මා දිට්ඨි නම් වැඩසටහන සඳහා බලංගොඩ කස්සප නම් භික්ෂුව ගෙන්වා දේශනා කරවීමට ජාතික රූපවාහිනිය කටයුතු කර තිබේ. බලංගොඩ කස්සපගේ ක්‍රියාන්විතය දන්නා සිහිබුද්ධියක් ඇති කිසිවෙකු මෙවැනි අවස්ථාවක් රාජ්‍ය මාධ්‍ය හරහා ලබා දෙතැයි සිතිය නොහැකිය. එසේ නම් රූපවාහිනී සභාපති හෝ අමාත්‍යවරයා හෝ කිසිවෙකුගේ සබුද්ධික වුවමනාවකට මෙම කටයුත්ත සිදු කෙරී ඇත්දැයි බලධාරීන් වහාම රටට හෙළිදරව් කළ යුතු ය.
බලංගොඩ කස්සපගේ ආසන්නතම මැදිහත්වීම වූයේ රට ගිනිගැනීමකට ආසන්න තත්වයක් ඇති කළ ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කළ සිදුවීමයි. එයට ක්‍රියාකාරීව මැදිහත් වූ බව කියන මෙම භික්ෂුව පසුව පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට ප්‍රතික්ෂේප කළ බැවින් අධිකරණය විසින් නොතීසි පවා නිකුත් කරනු ලැබීය.
ගෝල්ෆේස් අරගල බිමෙන් මතු වූ කස්සප භික්ෂුව සිය ජාතිවාදී මැදිහත්වීම එහිද සිදු කිරීමට ගොස් බැණුම් ඇසූ ආකාරය එහි සිටිය අය දනිති. එසේ ම කුරුන්දි විහාර ප්‍රශ්නය ආදී ප්‍රශ්නවලදී ඔහු සිදු කළ ආන්තික මැදිහත්වීම් මෙරට සහජීවනය අගයන ජනතාව ප්‍රතික්ෂේප කළ බව සිහිකළ යුතු ය.
වාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් සංවේදී කරුණක් වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කෙරෙතැයි කියමින් මෙම භික්ෂුව ඇතුළු පිරිසක් පසුගිය 2023 වසරේ පෙබරවාරි පාර්ලිමේන්තුව අසල කලහකාරීව හැසිරීමේදී අත්අඩංගුවට පත් විය.
2023 වසරේ මැයි මාසයේදී සමාජ ක්‍රියාකාරික සුජිත් අන්නමලේ විසින් පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබුවේ, මෙම බලංගොඩ කස්සප භික්ෂුව විසින් තමන්ට සහ තමන්ගේ පවුලේ පිරිසට මරණ තර්ජන සිදු කළ බව කියමිනුයි.
හාස්‍ය වැඩසටහනක් හේතුවෙන් ආගමික අපහාසයක් සිදු කර ඇතැයි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ මාධ්‍යවේදී බෘෘනෝ දිවාකර ICCPR යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිලි ඉදිරිපත් කළ පිරිසෙන් එක් අයෙකු වන්නේද මෙම බලංගොඩ කස්සප නම් භික්ෂුවයි. එහිදී ඔහුගේ නීතිඥයා ලෙස පෙනී සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක වන මනෝජ් ගමගේ ය.
බලංගොඩ කස්සප යනු මෙරට ආගමික අන්තවාදයේ ගිනි දල්වන හනුමෙක් බව සිහිබුද්ධිය ඇති ඕනෑම අයෙකු දනී. ඔහු බුදුන් වදාළ ධර්මය වෙනුවෙන් නොව වාර්ගික අන්තවාදය වෙනුවෙන් සැමදා කටයුතු කළ ඒජන්තයෝ ය. වත්මන් ආණ්ඩුවට ජනවරම ලැබුණේ මෙම ජාතිවාදය පරාජය කරන්නටය. කස්සපලා සහය දුන් රජයන්ගෙන්වත් නොලැබුණු සහයක් රාජ්‍ය මාධ්‍යවලින් ඔවුන් වෙත ලැබෙන්නේ වැඩේ යටින් යන නිසා විය යුතු ය.
(රටට දැයට හිතැති මිනිසුන් නිර්මාණය කරන්නට විශේෂයෙන්ම නිර්මල බුදු දහම ආරක්ෂා කරන්නට කැප වුණු මිනිසුන්ගේ හිත් සතන්වලට මහා බලයක් එක්කාසු කරන්නට කැපුවුණු යතිවරයන් වහන්සේ නමක් ලෙස ප්‍රකට ) මේ වැඩසටහන් පූරකයා බලංගොඩ කස්සප ගැන කළ හැඳින්වීමයි.
මේ ගැන මහත් ජනඝෝෂාවක් ඇති කළ යුතු ය.





