/ Jun 27, 2025

නාමල්ට එරෙහි නඩුවකට අද අධිකරණය දුන් නියෝගය

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව සැප්තැම්බර් මස 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (27) නියම කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ ද අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ලැයිස්තුගත කර තිබෙන ලේඛනවලට පරිබාහිර ලේඛන ගණනාවක් ලබාදෙන ලෙස විත්තිය විසින් ඉල්ලා තිබෙන බව සඳහන් කළේය.

එම ලේඛන ලබාදීම සඳහා කල් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ද කියා සිට ඇත්තේ, මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරුගේ ප්‍රකාශයේ කොටසක් පමණක් තමන්ට ලැබී තිබෙන බවත්, එහි සම්පූර්ණ පිටපතට අවශ්‍ය බවත්ය.

ඒ අනුව විත්තිය ඉල්ලා සිටින ලේඛන ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළ විනිසුරුවරයා, අනතුරුව නඩුව සැප්තැම්බර් මස 26 වනදා කැඳවන ලෙස නියම කළේය.

එදින මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බවයි විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top