ජනවාරි මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්, එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අවම වැටුප රු 27,000 සිට රු 30,000 දක්වා ඉහළ යන බවයි.
අවම වැටුපට සමගාමීව දෛනික වැටුප ද රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා ඉහළ නංවා තිබෙන අතර 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇත.
මෙම සංශෝධන පනත නිසිලෙස ක්‍රියාත්මක කිරීමේදී, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ යොදවා ගනු ලබන සේවකයකු සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයකුම එකී පනතේ නියමයන් ප්‍රකාරව බැඳී සිටින බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර තිබේ.
එසේම, සංශෝධිත පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අයවැය සහන දීමනාවන් එකතු කිරීම හැරුණු කොට සේවකයෙකු විසින් 2025.03.31 දින වන විට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සඳහා හිලවු කිරීමට යොදා නොගත යුතුය බවද අදාළ නිවේදනය දැක්වේ.
මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙනු ඇත.
යම් හෙයකින්, නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකිය.
මේ අතර පසුගිය කාලය තුළ විශාල සංවාදයක්වව පැවති වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් ද කැබිනට් තීරණයක් ගෙන තිබේ.
ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා 2026 අයවැය යෝජනා අනුව ලබාදීමට නියමිත සහන ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් ලබාදීමේ අරමුණින්, වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550 දක්වා ඉහළ නැංවීමටත්, පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200ක් ගෙවීමටත් 2026 අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබුණි.
එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන අයවැය මඟින් වෙන් කර ඇති බව රජය පවසයි.
ඒ අනුව, 2026 ජනවාරි 01 දින සිට මාස හයක් සඳහා අදාළ දිරි දීමනාව වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එය සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කිරීමටත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සැලසුම් කර තිබේ.
මෙම ක්‍රමවේදය අනුව වතු කම්කරුවන් වෙත දිරි දීමනාව ගෙවීම සඳහා කම්කරු අමාත්‍යවරයා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.





