රට පුරා රජයේ රෝහල්වල වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුපෙරණ සඳහා භාවිතා වන කාන්දුපෙරණ ඉඳිකටු (Dialysis Needle) හිඟයක් ඇති වීම නිසා රෝගීන් මහත් අවදානමකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග අනුව දැනගන්නට ඇත්තේ, ඇණැවුම් කර තිබු 40000ක පමණ උපකරණ තොගයක් චෙක්පත් ප්‍රශ්නයක් නිසා ලබා ගැනීමට නොහැකිව ඇති බවයි. රජයේ රෝහල්වල ඇති හිඟය නිසාවෙන්, පිටතින් වැඩියෙන් මිලට ගැනීම නිසා පෞද්ගලික අංශයේ ඔසුසැල්වලද මේ වන විට ඩයලයිසිස් නීඩ්ල් හිඟයක් මතුව තිබේ. රුධිර කාන්දුපෙරණය මත ජීවිතය රැඳී තිබෙන වකුගඩු රෝගීන් මේ නිසාවෙන් බලවත් අපහසුතාවකට පත්ව සිටිති.
කෙසේ වෙතත් ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය වෙත උපකරණ ලැබීම සිදුවන්නේ නුදුරු 10 වැනි දින බවයි. තවත් දින 5ක් හෝ තාක්ෂණිකව ඒවා බෙදාහැරීමට ගතවන කාලය රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක් කරන බව පැහැදිලිය.
අනෙක් අතට රෝගීන් චෝදනා කරන්නේ, ගත වූ කෙටි කාලය තුල මෙම කාන්දුපෙරණ ඉඳිකටු දෙගුණයකින් පමණ මිල ඉහළ ගොස් ඇති බවයි.
රෝගී ජීවිත කෙරෙහි ඍජු බලපෑම් එල්ල වන මෙබඳු උපකරණ හිඟ වීම කෙරෙහි වගකිව යුතු අංශ ක්‍රියාකරන මේ වගකීම්විරහිත ස්වභාවය ඉතා ප්‍රශ්නකාරී බව කිව යුතු ය. මේ ගැන ඉතා ඉක්මනින් සොයා බැලීම ආණ්ඩුව සිදු කළ යුතු ය. මෙවැනි තත්වයන් උදාවීම පිටුපස ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණද සැඟව තිබිය හැකි බැවිනි.