/ Mar 25, 2025

ඔබත් යටි පතුළේ වේදනාවෙන් පීඩා විඳිනවාද? විසඳුම මෙන්න!

වර්තමාන සමාජයේ සුලභව දැකිය හැකි රෝග අතරින් ඉහළින්ම පවතින රෝගයක් වන ”යටිපතුලේ වේදනාව”, අද වන විට වැඩිහිටි, තරුණ, බාල, මහලු කාහටත් සුලභව පවතින රෝගයක් බවට පත් වී තිබේ.

උදෑසන සයනයෙන් අවදිව නැඟී සිටීමේ සිට ආරම්භව දවසම පීඩාකාරී දිනයක් බවට පත් කරන මෙම රෝග තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් සිටීම සැමට වැදගත් වෙයි.

ආයූර්වේදයේ ආදී ග්‍රන්ථ වල මෙම රෝග තත්ත්වය පිළිබඳව දක්වා ඇත්තේ ,

රුක්පාදෙ විෂම න්‍යස්තෙ
ශ්‍රමාද් වා ජායතෙ යදා
වාතෙන ගුල්ඵ මාශ්‍රිත්‍ය
තමාහුර් වාත කණ්ඨකම්….

(වාග්භට නිදාන :15)

එහි සරළ අර්ථය වන්නේ, “අසම වූ භූමියක පාද නිසියාකාරව තබා ගෙන ඇවිදීම හේතූවෙන් ගුල්ඵ සන්ධිය පීඩාවට පත් වීම හෝ අධිකව ඇවිදීම නිසා ගුල්ඵ සන්ධිය පීඩාවට පත් වීම හෝ අධිකව පාදය වෙහෙස කිරීම නිසා හෝ මෙකී කාරණාවන් හේතූ කොට ගෙන කිපී යන වාතය ගුල්ඵ සන්ධිය ආශ්‍රය කොට ගෙන තදබල වේදනාවක් ඇති කරන රෝගය වාත කණ්ඨක නම් වෙයි.” යනුවෙනි.

ඇකුත් කලට බොලටේ සිට ගත් විට
වාත කණ්ඨකය නම් ඒ රද යට

(සිං.යෝ.ර.)

රාත්‍රියේ සයනය කිරීමෙන් පසුව උදෑසන අවදි වීමේ දී සයනයෙන් බැස ඇවිද යෑමට නොහැකිව විළුඹේ හටන්ගන්නා වූ අධික වේදනාව පියවර කීපයක් ඇවිද යෑමෙන් පසුව තරමක් සමනය වීමත්, දහවල් කාලය තුළ වේදනාව අඩුව පැවතීමත්, කල් යෑමෙන් එකී වේදනාව දිනය පුරාම පැවතීමත්, පාදයේ ඇස් වට සන්ධිය හෙවත් ගුල්ඵ සන්ධිය එසේ නොමැති නම් ඛුඩුක සන්ධිය ඉදිමීම, වේදනා දීම, ඇවිදීමට අපහසු වීම ආදී පීඩාවන් ඇති කරන රෝග තත්ත්වය වාත කණ්ඨක රෝගය ලෙස සරළව හැඳින් වීමට හැකියි යනුවෙන් එහි අර්ථය දැක්වෙයි.

මෙම රෝගයේ ලක්ෂණ ලෙස ,

  • නිතර පාදය වෙහෙසවා ඇවිදීම,
  • පාපැදියෙන් බොහෝ දුර ගමන් කිරීම,
  • අධික ස්ථුල තාව,
  • නිතර පඩි පෙල් නැඟීම හා බැසීම,
  • ගල්,ටයිල්,කොන්ක්‍රීට් ආදී තද මතු පිට සහිත පොළොවේ නිතර ඇවිදීම,
  • පෝෂණ ඌනතාවයන්,
  • කල් ගිය වැටීම් තැලීම් පහර වැදීම් ආදී හේතූ,
  • තද අඩිය සහිත , උස් අඩි සහිත පාවහන් පැළඳීම,
  • නිතර වාහන පැදවීම,
  • උස පැනීම, දිවීම ,ඇවිදීම,පාපන්දු,රගර්,සටන් කිරීම ආදී ක්‍රීඩා අධිකව කිරීම,
    *ගුල්ඵ මර්මයේ ආඝාතයන්,
  • කල් ගතවූ උළුක්කූ ,ඇමැට්ටිලි තත්ත්වයන්,
    *ආම වාත සන්ධි ශෝත ආදී රෝග වල අතුරු තත්ත්වයක් ලෙස, ආදී හේතූන් දක්වා ඇත.

එමෙන්ම ,
ආරක්ෂක අංශයේ,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ,රියදුරු ,කම්කරු,ක්‍රීඩකයන් ආදී රැකියාවන් වල හා ක්‍රියාවල නිරත වන අය අතර මෙම රෝග තත්ත්වය සුලභව දක්නට ලැබෙයි.

මෙහි දී බොහෝ විට විලුඹ අස්ථියේ පහළ, අස්ථි අංකුර ඇති වීම හා ඒවා ඒ ආශ්‍රිත ස්නායු ,පටක,රුධිර නාල,පේෂී වල ඇනී යාමෙන් ඇති වන වේදනාව,ගුල්ඵ සන්ධීය ඉදිමීම,විළුඹ අස්ථියේ ඉහළ කොටසේ කැල්සියම් තැන්පත් වීම ආදී කායික රෝග තත්ත්වයන් මෙම රෝගයේ දී දක්නට ලැබෙයි.

මෙම රෝගයෙන් මිදීමට ආයුර්වේදය තුළ මෙන්ම දේශීය වෙදකම තුළ ද විවිධාකාර හා සරළ පහසු ප්‍රතිකාර ක්‍රමවේදයන් රාශියක් පවතී.

ඒ අතර සවස් කාලයේ මද උණුසුම් ජලයට ලුණු මිශ්‍ර කොට එම වතුරේ පාද තබා ගෙන මඳ වේලාවක් සිටීම.
පසුව පිස දමා රූක්ෂ තෛල හෙවත් සර්ෂපාදී,වාත විදුරංග,පිණ්ඩ,ශූල හර,නිර්ගුණ්ඩ්‍යාදී ආදී ආයුර්වේද තෛල ද,මහා වාත තෛලය,සන්ධි තෛලය,සන්ධි රාජ තෛලය,කුදුස් තෛලය,කොර තෛලය ආදී දේශීය තෛල ද හොඳින් අභ්‍යංගය කිරීම ද,
අබ ,මුරුංගා ,සාරණ මුල් සමව ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීම,
ගොරකා කොළ,පොතු අමු කහ ලුණු දමා කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීම,
වාලුකා පොට්ටනියෙන් තැවීම ,
ආදී රූක්ෂ තැවීම් වලින් තැවීමෙන් ද,
එඬරු කොළ ,වරා කොළ අමු කහ ,ලුණු දමා කොටා තල තෙලෙන් මලවා බැඳීමෙන් ද,
වියළි ගොරකා ,අමු නෙල්ලී තම්බා ඊට අමු කහ,ලුණු ,එළ අබ දමා කොටා අඹරා පොල් කිරි වලින් කකාරා බැඳීමෙන් ද මෙම රෝගය පූර්ණ වශයෙන්ම සුවපත් කර ගැනීමට හැකියාව පවතී.

හීං අරත්ත,
එඬරු මුල්,
නික මුල්,
බෙලි මුල්,
වෙනිවැල්ගැට මේවා සමව ගෙන පාට වැටෙන තුරු තම්බා පෙරා අඩු කෝප්පයක් පමණ උදේ හා හවස සීනි,හකුරු සමඟ පානය කිරීමෙන් මෙහි ඇති වේදනාව පහසුවෙන් තුරන් වෙයි.

මේ සඳහා තවත් එක් ක්ෂණික ප්‍රතිකාර ක්‍රමෝපායක් උඩරට පුරාණ ජයසේකර වෙද පරම්පරාවේ ඇත.

එය ආයුර්වේදය තුළ ශල්‍ය ප්‍රතිකාර ගණයේ ළා සැළකෙන ප්‍රතිකාර ක්‍රමයකි.
එහි දී රෝගීයා ඒ සඳහා සූදානම් කොට තෛල අභ්‍යංග කොට එළ අබ ප්‍රධානව කාඩි දියෙන් අඹරා සකස් කරන ඖෂධයක් පාද වල යටි පතුලේ ආලේප කොට බෙහෙත් ගලෙන් (විධිමත් ක්‍රම ඔස්සේ සකස් කරන ලද තිරුවානා පාෂාණයක්) තවා පිළිස්සීම ද,
ගුල්ඵ මර්මය හැර සෙසු නිල සුළුඹුවෙන් රත් කොට තැවීම ද,
විඳුම් කටු වලින් විද ලේ හැරීම ද,
ආදී ශල්‍ය ක්‍රම මඟින් මෙම රෝග තත්ත්වය ඉතා ඉක්මණින් පූර්ණ සුවපත් භාවයට පත් කිරීමට හැක.

මෙම රෝගයේ දී තෙල් බහුලව යොදා පිසින ආහාර, පාන් පිටි වලින් නිපදවන ආහාර, කොස්, දෙල්, මඤ්ඤොක්කා අල ආදී ගුරු බර ආහාර, ආදී ආහාර අපත්‍ය වෙයි.

දහවල් නිදීම,රාත්‍රී නිදි වැරීම,සීතල වතුරේ නිරුවත් දෙපයින් සිටීම,තද පොළවේ සිට ගෙන සිටීම,ඇවිදීම,උඩ පැනීම ආදීය සිදු කිරීම ද අපත්‍ය වෙයි.

නිසියාකාරව ව්‍යායාම සිදු කිරීම,පෝෂ්‍යදායි ආහාර අනුභවය,ජලය අවශ්‍ය තරමින් පානය කිරීම,ගැළපෙන පාවහන් පමණක් භාවිතා කිරීම ආදී ක්‍රියා මඟින් මෙම රෝග තත්ත්වයෙන් වැළකී සිටීමට හැකි වෙයි.

සැම සුවපත් වේවා ! දීර්ඝායුෂ වේවා !

සටහන –
දේශීය වෛද්‍ය
නිලංක රවිනාත් ජයසේකර
“ජයසේකර වෙද මැඳුර” ,
නො.160,
බටගල්ල දකුණ,
පූජාපිටිය.
081 230 5514
077 565 2806
සර්වාංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top