/ Jul 08, 2025

චාමරට වැඩ වරදී; හිටපු ජනපති රනිල් කළ ප්‍රකාශය අසත්‍යයක් බව හෙළිවෙයි

හිටපු අමාත්‍ය චාමර සම්පත් සම්බන්ධයෙන් හිටපු කනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට දන්වා තිබේ.

ඒ, අල්ලස් කොමිසම විසින් චාමර සම්පත් දසනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දීය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක ද අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවා තිබුණි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙනයි.

ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත්, එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක විසින් කළ ක්‍රියාවක් නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබූ බව අධිකරණය හමුවේ පෙන්වාදුන්නා ය.

නමුත් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වැනිදා වුවද, චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29 වැනිදා බවත් එම නිලධාරිනිය අධිකරණයට කරුණු පැහැදිලි කළාය.

ඒ අනුව සැකකාර චාමර සම්පත් විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවත් එම නිලධාරිනිය පැවසීය.

මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී වික්‍රමසිංහ අදාළ චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත්වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරිනිය සඳහන් කළාය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන නිලධාරියා අධිකරණයට සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බවයි.

සැකකාර චාමර සම්පත්ගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම ඉල්ලීම අද දහවල් සලකා බැලීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top