නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවට අනතුරු අඟවයි.
ඉදිරි දින 10ක් තුළ විසඳුම් ලැබිය යුතු බවටයි ඔවුන් අවධාරණය කරන්නේ.
පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලුු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
”රජයේ වෛද්‍ය නිලදාරින්ගේ හැටියට අපි ඉල්ලන්නේ අපි දිගින් දිගටම ඉල්ලපු සෞඛ්‍ය ගැටළුවලට විසඳුම් ලබා දෙන්න. මේ ගැටලු පොඩි ගැටලු නෙමෙයි. සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන ගැටලු. සෞඛ්‍ය පද්ධතිය බරපතල බිඳ වැටීමේ තැනක තමයි මේ වෙද්දි ඉන්නේ. සෞඛ්‍ය කාර්යමණ්ඩලය අඩුයි. වෛද්‍යවරුන් නැහැ. විශේෂඥ වෛද්‍යවරුන් අඩුවක් තියෙනවා. අවශ්‍ය බෙහෙත් නෑ. ශල්‍ය උපකරණ නෑ. ආරක්ෂාව නෑ. මූලික පහසුකම් නෑ.ගොඩක් දේවල් නෑ. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ මළගම තමයි සටහන් වෙමින් යන්නෙ. අයවැය ඉදිරිපත් වුණා නොවැම්බර් මාසේ. බොහොම කණගාටුයි සෞඛ්‍ය සේවාවේ කිසිම සැබෑ ප්‍රශ්නයක් හඳුනාගෙන නෑ උත්තර නෑ. අපි හදිසි විධායක සභාව රැස්වුණා. අපි එහිදී තීරණය කළා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට යන්නජනවාරි 23 ඉදන්. තවත් දින දහයක් දෙන්නම් ඒ දින දහය ඇතුළත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්න.” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හා සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.




