කීරි සම්බා සහල් තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුගේ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත කීරි සම්බා සහල් තොගයක් රාජසන්තක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාසයේ කොළඹ 12 ප්‍රදේශයේ පැවති වෙළෙඳසැලක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සහල් තොගය හමු වී ඇත.
ඒ අනුව එම වෙළෙඳසැලෙහි හිමිකරුට සහ කළමනාකරුට එරෙහිව නඩු පවරා ඇති අතර අදාළ නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10,000.00 බැගින් රුපියල් 20,000.00 ක දඩ මුදලක් නියම කරන ලදී.
එහිදී එම වෙළෙඳසැලේ සඟවා තබා තිබිය දී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3,000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබු අතර අධිකරණය විසින් එම සහල් තොගය රාජසන්තක කිරීමට ද නියෝග කළේය.