/ Mar 15, 2025

SDB බැංකුව ග්‍රාමීය ප්‍රජාවන් අතර තිරසාර සංවර්ධනය වෙනුවෙන් IRSD ආයතනය සමඟ ක්‍රමෝපායික සහයෝගීතාවයකට එළඹෙයි

තිරසාර සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින් SDB බැංකුව පසුගියදා ග්‍රාමීය තිරසාර සංවර්ධන ආයතනය (Institute of Rural Sustainable Development – IRSD) සමඟ ක්‍රමෝපායික සහයෝගීතාවයකට එළඹිණ. ග්‍රාමීය තිරසාර සංවර්ධන ආයතනය ග්‍රාමීය ප්‍රජාවන් ඉලක්ක කරගත් තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව උපදේශනය සපයන ප්‍රමුඛතම උපදේශන ආයතනයක් වන අතර SDB බැංකුව මෙම සහයෝගීතාවය හරහා සිය මෙහෙයුම් ක්‍රියාත්මක වන ග්‍රාමීය ප්‍රජාවන් තුළ දැවැන්ත තිරසාර පරිවර්තනයක් සිදු කිරීමට අපේක්ෂා කරයි.

ඒ යටතේ SDB බැංකුව ආර්ථික ක්‍රියාවලිය තුළට ජනතාව ඇතුළත් කිරීම ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධනයක් ග්‍රාමීය ප්‍රජාවන් අතර ඇති කිරීම සඳහා කටයුතු කරනු ඇත. ඒ අනුව මෙම ක්‍රමෝපාය යටතේ සමූපකාර සහ කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායක අංශයන් සිට ප්‍රජා කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය සහ කාන්තාවන් සවිබල ගැන්වීම දක්වා අංශ ගණනාවක් ආවරණය කෙරෙනු ඇත.

“IRSD ආයතනය සමඟ අපි ඇති කරගත් ක්‍රමෝපායික සහයෝගීතාවය ග්‍රාමීය ප්‍රජාවන්ගේ සුවිශේෂී අවශ්‍යතාවයන් ඉටු කිරීම තුළින් තිරසාර සංවර්ධනය උදා කිරීම සඳහා වන SDB බැංකුවේ පුළුල් දැක්මට අනුගත සහයෝගීතාවයක්.  ග්‍රාමීය ප්‍රජාවන් සතු මානව, සමාජයීය සහ ආර්ථික හැකියාවන් යථාර්තයට හැරවීමේදී IRSD ආයතනය වෙතින් අපට ලැබෙන විශේෂඥ උපදේශනය ඉතා වැදගත්. එනිසා මේ සහයෝගීතාවය හරහා සියළු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ග්‍රාමීය ආර්ථිකයන්හි සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වයන්හි දැවැන්ත පරිවර්තනයක් සිදු කිරීමට අපට හැකි වනු ඇති” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂක කපිල ආරියරත්න මහතා පැවසීය.

සමූපකාර අංශයේ ප්‍රජා කේන්ද්‍රීය ප්‍රවේශය හේතුවෙන් ග්‍රාමීය සංවර්ධනය අරභයා සමූපකාර අංශය ඉතා වැදගත් වන අතර ඒ අනුව SDB බැංකුව සමූපකාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීම හරහා ග්‍රාමීය ප්‍රජාවන්ගේ සමාජයීය ආර්ථික සහ මානව සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමට අපේක්ෂා කරයි. ඊට අමතරව මෙම සහයෝගීතාවය යටතේ ක්‍රියාත්මක කෙරෙන කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් වැඩසටහන් හරහා රැකියා උත්පාදනය, ආර්ථික වර්ධනය සහ ආර්ථික සවිමත්බව ඇති කිරීමට SDB බැංකුව අපේක්ෂා කරයි. මේ හරහා ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් ඇති කිරීමට හැකි බව SDB බැංකුවේ විශ්වාසයයි.

ප්‍රජා කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය සම්න්ධයෙන් IRSD ආයතනය සතු ප්‍රවීණතාවය උපකාරී කරගෙන ඉලක්කගත ග්‍රාමීය ප්‍රජාවන් සතු සංස්කෘතික සහ ස්වභාවික වත්කම් සහ විභවතාවයන් තිරසාර ආර්ථික සංවර්ධනය අත්පත් කරගැනීම සඳහා යොදා ගැනීමට SDB බැංකුව කටුයතු කරන අතර මේ නව ප්‍රවේශය ස්වභාවික සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරන අතරම ග්‍රාමීය ප්‍රජාවන්ට නව ආදායම් අවස්ථාවන් නිර්මාණය කිරීමටද උපකාරී වනු ඇත.

මේ සියල්ලටම අමතරව කාන්තාවන් සවිබල ගැන්වීම විශේෂයෙන් ඉලක්ක කරගත් වැඩටසහන් රාශියක් ක්‍රියාත්මක කිරීමටද SDB බැංකුව කටයුතු කරනු ඇති අතර ඊට හරිත කෘෂිකර්මාන්තය, ව්‍යවසායකත්වය සහ ව්‍යපාර කළමනාකරණය වැනි අංශවලට යොමු වීමට කාන්තාවන් දිරිගැන්වීම ප්‍රමුඛ වේ. මේ වැඩසටහන ඔස්සේ කාන්තාවන් සවිබල ගැන්වීම කෙරෙහි SDB බැංකුව නොකඩවා දක්වන දායකත්වය ග්‍රාමීය ප්‍රජාවන්ට තිරසාර සංවර්ධනය උදා කිරීම සඳහා සුවිසල් දායකත්වක් සපයනු ඇත.

SDB බැංකුව ආරම්භයේ සිටම බිම් මට්ටමේ ආර්ථික දියුණව සහ සමෘද්ධිය උදා කිරීම වෙනුවෙන් වන කැපවීම වෙනුවෙන් කීර්තියක් දිනා සිටින බැංකුවකි. නව්‍යකරණය හරහා අඛණ්ඩවම ශ්‍රී ලාංකික ජනතාව අතර ව්‍යාප්ත වෙමින් ග්‍රාමීය සංවර්ධනයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට SDB බැංකුවට හැකි වි ඇති අතර IRSD ආයතනය සහ ඇති කරගත් සහයෝගීතාවය මෙහිලා තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය.

SDB බැංකුව පිළිබඳව

වසර 27කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ විශාල සේවාවක් සිදු කර ඇති SDB බැංකුව පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ආරක්ෂිත සහ විශ්වාසනීය බැංකුකරණ විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කීර්තියක් ලබා ඇත. SDB බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර කොළඹ කොටස් වෙළෙඳපොලේ ප්‍රධාන මණ්ඩලයේ ලැයිස්තුගත කර ඇති, Fitch Ratings Sri Lanka විසින් ‘BB+(lka)’ ණය ශ්‍රේණිගත කිරීමක් සහිත බැංකුවකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහයෝගය ලබා දීමෙන් සහ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දීමෙන් SDB බැංකුව මෙරට තිරසාර සංවර්ධනය සහ ආර්ථික උන්නතිය වෙනුවෙන් කැප වී සිටියි. මීට අමතරව නිපුණතා සංවර්ධන, ව්‍යවසායකත්ව, මාර්ගෝපදේශන සහ උපදේශන වැඩසටහන්වලින් සමන්විත වැඩමුළු ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය සේවාවන්ට වැඩි යමක් ලබා දෙමින් ඉතිරි කිරීම සඳහා දිරිගැන්වීමටත් මෙරට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් SDB බැංකුව කැප වී සිටියි. සිය මූල්‍ය ක්‍රියාකාරකම්වලදී ව්‍යාපාරික ප්‍රමුඛතාවයන්ට අමතරව තිරසාර එළඹුමකින් කටයුතු කරමින් පාරිසරික, සමාජ සහ පරිපාලන තිරසාරත්වය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම කෙරෙහි ද SDB බැංකුව සැළකිලිමත් වෙයි.

ඡායාරූපය:

SDB බැංකුව සහ IRSD ආයතනය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරුණු අවස්ථාව අතරතුර (වමේ සිට දකුණට): ශංක අබේවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන මූල්‍ය නිලධාරී, IRSD බැංකුව, කපිල ආරියරත්න, විධායක අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී, IRSD බැංකුව, ශිරානි වීරකෝන්, සභාපතිනී/අධ්‍යක්ෂිකා, IRSD ආයතනය, සුමේධා කුමාරරාච්චි, කළමනාකරු, ග්‍රාමීය නගාසිටුවීම්, SDB බැංකුව.     

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top