ජනපතිවරයා මැතිවරණ සමයේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ක්‍රියාමාර්ගයක් ගත් බව කියමින් පුවතක් මව්බිම පුවත්පතේ පළ කර තිබුණු අතර එය මැතිවරණ කොමිසමේ ම මූලාශ්‍රයකින් ලබාගත්තක් බව පුවත්පත කියා සිටිය දී එවැනි ක්‍රියාමාර්ගයක් නොගත් බවට උක්ත පුවත කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් දිනපතා මව්බිම පුවත්පතේ කර්තෘ බිඟුන් මේනක ගමගේ ලියූ සටහන පහතින් දැක්වේ.
මැතිවරණ නීති උල්ලංඝනයක් කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකළ බවට කොමිසමේ මූලාශ්‍රයක් සහතික කර එය ඊයේ(17) ප්‍රධාන පුවත හැටියට වාර්තා කිරීමෙන් පසු එහි සභාපතිවරයා විසින්ම එම තොරතුර ප්‍රතික්ෂේප කරනු ලැබීම ගැන ‘මව්බිම’ සිය බලවත් විමතිය පළ කර සිටී.
‘නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි – මැතිවරණ නීති කඩන කතා එපා : මැ.කො ජනපතිට ලියයි’ යන සිරස්තලය යටතේ පළ කළ පුවත මැතිවරණ කොමිසමේ මූලාශ්‍ර මඟින් ලබා ගත් පුවතක් වන අතර මෙසේ කොමිසම පැය විසි හතරක් ඇතුළත ස්ථාවර දෙකක් ගැනීම ගැන ‘මව්බිම’ සිය අප්‍රසාදය පළ කරමින් ඊයේ(17) දිනයේම මැතිවරණ කොමිසමට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි යොමු කළේය.
මැතිවරණ කොමිසම මෙසේ ස්ථාවර දෙකක් පෙන්වමින් සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල හා තිස්සමහාරාම මැතිවරණ රැස්වීම්වලදී කළ ප්‍රකාශ මගින් පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ අයුතු බලපෑම් හා අල්ලස යන වැරැදි සිදුකර ඇති බවට සී.එම්.ඊ.වී සංවිධානය මීට සති දෙකකට පෙර කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.
ජාතික ජනබලවේගයේ නොවන කණ්ඩායමක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළහොත් ඒවාට මුදල් වෙන්කිරීම කළ නොහැකි බවටත් මුදල් වෙන්කළත් එය සැලකිල්ලෙන් කිරීමට සිදුවන බවටත් වශයෙන් මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශවලට එරෙහිව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළේ පසුගිය 2 වැනිදාය.
‘2025 පළාත් පාලන ආයතන මැතිවරණ ව්‍යාපාරය අතරතුර විධායක ජනාධිපතිතුමා විසින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිල්ල’ මැයෙන් වූ එම පැමිණිල්ලේ අදාළ ප්‍රකාශ දෙකම පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 82 (ඇ) හා 82 (ඈ) (අයුතු බලපෑම් හා අල්ලස) යන වගන්ති බරපතලව හා පැහැදිලි ලෙස උල්ලංඝනය කිරීමක් බව සිය විශ්ලේෂණාත්මක මතය යැයි එම සංවිධානය දක්වා තිබිණ.
රටේ විධායක ජනාධිපතිවරයාට තිස්සමහාරාම හා බුත්තල ප්‍රාදේශීය සභාවට තම පක්ෂයේ නියෝජිතයින් තෝරා පත් කර නොගතහොත් ප්‍රදේශයේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද වන බවට හෝ මෙම අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද විය හැකි බවට ඡන්දදායකයින්ට කිසිසේත් තර්ජනය කළ නොහැකි යැයි සී.එම්.ඊ.වී ආයතනය තම පැමිණිල්ලේ දක්වා ඇත.
එසේම සිය නියෝජිතයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ජන බලවේගයෙන් පැමිණෙන යෝජනා පිළිගෙන ප්‍රශ්න කිරීමකින් තොරව අරමුදල් සපයනු ලබන බවටත් වූ ප්‍රකාශය සමග සැසඳූ විට පැහැදිලි ලෙසම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තර්ජනයක් සහ පොරොන්දුවක් යන දෙකම ඒකාබද්ධ කරන්නක් යැයි ද සී.එම්.ඊ.වී ආයතනය පවසයි.
වඩා ගැටලුසහගත කරුණ වන්නේ ජනාධිපතිවරයා රට පුරා පණිවිඩයක් යවමින් මෙම කරුණු යළි යළිත් ප්‍රකාශ කරමින් සිටීම යැයි පවසන එම සංවිධානය පක්ෂ දේශපාලනය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන වත්මන් ජනාධිපතිවරයා විසින්ම මෙවැනි ප්‍රකාශ කිරීම නිසා ජාතික ජනබලවේගයට ඡන්දය දීමට අකැමැති ඡන්දදායකයන්ට තර්ජනයක් හා අල්ලසක් ලෙසින් එය විශ්වාසදායක වනු ඇතැයි ද අවධාරණය කරයි.
ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීම සම බිමක ක්‍රීඩා කිරීමේ මැතිවරණ මූලධර්මයට හානි කර නිදහසේ සහ ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ පුරවැසි අයිතියට තර්ජනය කරමින් අවසාන මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි යැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබිණ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් පියවර ගැන පසුගිය 10 වැනිදා එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් ‘මව්බිම’ විමසූ අතර ඒ ගැන සිය පැමිණිලි අංශයෙන් විමසන්නැයි ඔහු පැවැසීය.
ඉන්පසුව මේ සම්බන්ධයෙන් පෙරේදා(16) කළ විමසීමේදී එම අංශයේ නිලධාරියකු පැවසුවේ ජනාධිපතිවරයාට එවැනි ප්‍රකාශ නොකරන ලෙසට ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපියක් යොමුකළ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තියෙන් සිවිල් හා අපරාධ නඩු පැවරීමේදී ජනාධිපතිවරයාට හිමි වන මුක්තිය නිසා මෙවැනි සිදුවීම්වලදී ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපි යොමුකිරීමේ පිළිවෙත ගැන එම නිලධාරියා එහිදී සවිස්තර පැහැදිලි කිරීමක් කළේය.
එම නිලධාරියා සිදුකළ දීර්ඝ පැහැදිලි කිරීමේදී මෙසේ ද සඳහන් විය.
“ පැමිණිලි ආපු නිසා ඒවා කෝට් කරලා ජනාධිපතිතුමා දැනුවත් කරන්න කියලා අපි ජනාධිපති ලේකම්ට ලියලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය තියෙනවානේ එයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බැහැනේ. එනිසා තමයි අපි ජනාධිපති ලේකම්ට ලිව්වේ මේ විදිහට කරන්න දෙන්න එපා කියලා.”
එම නිලධාරියාගේ පැහැදිලි කිරීම අනුව ‘මැතිවරණ නීති කඩන කතා එපා: මැකො ජනපතිට ලියයි’ යන හිසින් ප්‍රධාන සිරස්තලය ලෙසින් ‘මව්බිම’ ඊයේ(17) එම පුවත වාර්තා කළේ ඒ අනුවය.
කෙසේ වෙතත් පුවත්පත මුද්‍රණය වී පළවීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ‘මව්බිම’ට දුරකථන ඇමතුමක් ගෙන මෙම පුවත සදොස් බවත් එවැනි ලිපියකට තමා අස්සන් නොකළ බවත් පැවැසීය.
ජනාධිපති ලේකම්වරයා අමතා යැවූ බව කියන ලිපියක් ගැන ‘මව්බිම’ට පෙර දිනයේ ප්‍රකාශයක් කළේ ද මැතිවරණ කොමිසමේ නීති අංශයේ නිලධාරියෙකු වන පසුබිමක හා එම අංශයෙන් අදාළ තොරතුරු ලබාගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාම මාර්ගෝපදේශ සැපයූ පසුබිමක පුවත පළකිරීමෙන් පසු මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම ගැන පුවත්පතක් හැටියට විමතිය පළ කරමු.
එසේම ස්වාධීන කොමිසමක් හැටියට මෙහි ගැටලුවක් වේ නම් මැතිවරණ කොමිසමේ ලිපි ශීර්ෂ යටතේ ප්‍රතිචාර නොදක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා පය බුරුලෙන් තබන නිවේදනයක් නිකුත් කිරීම වඩා ප්‍රශ්නකාරී බව ද අවධාරණය කරමු.
මේ අතර 2025 CMEV/SLG2025/Complaint/01 අංකය දරන පැමිණිල්ල ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට 2025 අප්‍රේල් මස 2 දින යොමුකර දින 15ක් ගතවී ඇති නමුත් මැතිවරණ කොමිසමෙන් කිසිදු ප්‍රතිචාරයක් තමන්ට නොලැබීම අවදානයට ලක් විය යුතු කරුණක් බව කියමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඊයේ නිවේදනයක් නිකුත් කර ඇත.
සිය පැමිණිල්ලේ අන්තර්ගතය ඡන්දයට තීරණාත්මක බලපෑමක් ඇතිකරන නිසා එයට ඉක්මන් හා ප්‍රමාණවත් පිළිතුරක් මැතිවරණ කොමිසමෙන් ජනතාව වෙනුවෙන් තම සංවිධානය බලාපොරොත්තු වෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
බිඟුන් මේනක ගමගේ