/ Jun 27, 2025

අතුරුදන් වූ මාලිමාවේ මන්ත්‍රී යුවළ උණවටුන බීච් එකේ ; ‘හානියක් නෑ’ – පොලිසිය කියයි

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද (27) සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටිය දී සොයාගෙන තිබේ.

මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරියයි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

එම දෙපළ අද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටිය දී පැහැරගෙන ඇති බව පවසා එම සභාවේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තේය.

ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභිකධුර 22ක් හිමිකරගෙන තිබූ අතර සමගි ජනබලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන තිබූ සභිකධුර සංඛ්‍යාවද 22කි.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පමණ සභාවේ කටයුතු ඇරඹුණි.

නමුත් එම අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් සභාවට පැමිණ නොසිටි අතර ඔවුන් දෙදෙනා පැහැරගැනීමට ලක්ව ඇතැයි එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම්දී තිබුණි.

ඒ හේතුවෙන් ඔවුන් පැමිණෙන තෙක් සභාවේ කටයුතු අත්හිටුවන්නැයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක් කළ අතර එම අවස්ථාවේ දී ඇය පවසා ඇත්තේ සභාවේ ගණපූරණය පවතින බැවින් එය සිදුකළ නොහැකි බවය.

මේ තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල්ලැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම අවස්ථාවේ සභා පරිශ්‍රයට පැමිණ සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් සභා ගැබ තුළට පැමිණ සිය විරෝධය පළ කළේය.

මෙම නොසන්සුන් තත්ත්වය හමුවේ දින 30ක කාලයක් තුළ යළි සභාව රැස්වීමේ අපේක්ෂාවෙන් සභාව කල්තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පියවර ගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top