/ Nov 13, 2025

පාතාලේ සම්බන්ධකම් ගැන කතාවට මන්ත්‍රී ජගත්ගෙන් පොලිස්පතිට පෙරළා ප්‍රතිචාර!

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ මහතාට තර්ජන මතුව ඇත්තේ දේශපාලන හේතු නිසා නොව, සංවිධානාත්මක අපරාධ හා නීතිවිරෝධී ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ ඔහුට ඇති සම්බන්ධතා හේතුවෙන් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කළ ප්‍රකාශයට අද මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රතිචාර දක්වන ලදී.

තමා කිසිදු පාතාල සාමාජිකයෙක් සමඟ මෙතෙක් සම්බන්ධතා පවත්වා නොමැති බවත් පොලිස්පතිතුමාට අවශ්‍ය නම් තමාගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ව මේ මොහොතේ ඉවත් කරන ලෙසත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් ව්‍යාපාරිකයෙක් වන අතර ව්‍යාපාර ආරම්භ කරන ලද්දේ 89 වසරේ බවත් කිසිලෙසකින්වත් කූඨ ව්‍යාපාර තමන්ට නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

“මං මේ ආවේ මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට කිසිම දේශපාලඥයෙක්ට වෙන්න එපා කියන පණිවිඩේ දීලා යන්න. කිසි දවසක වරදවා හිතන්න එපා මේක බයෙන් ආපු ගමනක් කියලා. ඒක නිසා මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ මම ව්‍යාපාරිකයෙක්. කූඨ ව්‍යාපාර කතන්දරයකුත් කියලා තිබ්බා. මම 89 ව්‍යාපාර පටන් ගත්තේ පොලිස්පතිතුමා. කලුතර දිස්ත්‍රික්කයේ හරි ලංකාවේ හරි දහපහලොස් දෙනා අතරේ මමත් ඉන්නවා ආදායම් බදු ගෙවන පුද්ගලයෙක් වශෙයෙන්. පාර්ලිමේන්තුවේ වත්කම් බැරකම් දුන්නාම ඒක එයාලා තේරුම් ගන්න ඇති. ඉතින් ඒක වරදක්ද? මම 89 ඉදන් ව්‍යාපාර කරලා, ව්‍යාපාර ජාලයක්ම ඇති කරපු මට කළු පැල්ලමක් එකතු කළා. අපි ඒකට විරුද්ධව නීතිමය කටයුතු කරනවා. මේ බලන්නකෝ මේවා මවනවනේ මෙයාලා, මාව පාතාල කල්ලිත් එක්ක සම්බන්ධ කරලා ඝට්ටනයක් ඇති කරන්න හදනවා. ශාන් අරෝෂ ජයසිංහ කියලා කියන්නේ අලුත් කෙනෙක් නෙවෙයි. අපේ ගෙවල් ළඟ, අපේ නගරේ ඉන්න කොලුපැටියෙක්. දැන් පිටරට ගිහිල්ලා ඇති. මම දැන් දන්නේ මාව එයත් එක්ක පටලවලා කියලා. මොකක්ද මම කරපු වරද? විපක්ෂයේ දේශපාලනය කරන එකද වරද?

මෙ කතා කරන මොහොතෙත් මගේ සජබ මූලස්ථානේ තට්ටු 6ක ගොඩනැඟිල්ලක් මතුගම නගරයේ තියෙනවා. ඒකේ STF එකයි එයාර් ෆෝස් එකේ අයයි ඇවිල්ලා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මේ කතා කරන මොහොතෙත්. එහෙම පාතාල කල්ලිත් එක්ක අනීතිකව කටයුතු කරනවා නම් ඒ මිනිස්සු මගෙ ළඟට එයිද? මේ කතා කරන මොහොතේ පොලිස්පතිතුමා මතුගම පොලීසියට ගිහින් පරීක්ෂා කරන්න මෙන්න මේම ට්‍රේනින් එකක් සිද්ධ වෙනවද නැද්ද කියලා. පොලිස්පතිතුමාට තියෙන හිතේ අමාරුව තමයි අපේ ගමේ මනුස්සයනේ. ඉතින් අපි සන්තෝස වෙනවා රාලහාමි කෙනෙක් වශයෙන් සේවයට ගිහිල්ලා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පති කෙනෙක් වීම ගැන අපි සුබ පතනවා, අපි සන්තෝස වෙනවා. නමුත් කතානායක හරහා නීත්‍යානුකූලව මට ආරක්ෂාව ගැනීම පිළිබඳව එයාට මොකක් හරි ලැජ්ජාවක් හරි පසුතැවීමක් හරි තියෙනවද දන්නෙ එනෑ. නීත්‍යානුකූල මාර්ගයේ යෑම වැරැද්දක්නම් මම එයාගෙන් සමාව ගන්නවා. හැබැයි ඒක හරි ක්‍රමයට ගියපු හින්දා මම සමාව ගන්න යන්නේ නෑ. ඕනේ නම් දැන් යනකොට අයින් කරන්න. කෙඳිරිගාන්න නම් එන්නේ නෑ, පපුව දෙනවා වෙඩි තියන්න. මේ ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් වෙඩි කන්නේ. වෙන මොකක්වත් කරලා නෙවෙයි” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top