පසුගිය දින දෙක තුළ මීගමුව බන්ධනාගරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අධිකරණය වෙත අද (07) කරුණු වාර්තා කිරීමට නියමිතයි.
අනතුරුව මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදුකිරීමට නියමිතයි.
මේ වන විට ගැටුම පලමය කර ඇති අතර රැඳවියන් 700 දෙනෙකු පමණ ආරක්ෂාව සඳහා අගුණකොළපැලැස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරුකර යැවීමට ද පියවර ගෙන ඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව පවසයි.
තත්ත්වය පාලනය කර ඇති නමුත් තවදුරටත් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා තිබේ.
රැඳවියන්ගේ ඥාතීන්ද තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර කාන්තා රැඳවියන් තවදුරටත් විරෝධතාවයේ නිරත වී සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
මෙම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලද 58 දෙනෙකු මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
පසුගිය 05 වැනිදා දහවල් කාලයේ මෙම ගැටුම ආරම්භ වී තිබුණු අතර ඊට හේතුවී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමයි.
ඒ අනුව රැඳවියන් දෙපාර්ශවයක් අතර එම ගැටුම හටගෙන තිබුණු අතර ගැටුම සමථයකට පත්කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට මැදිහත්වීමට සිදුව තිබුණි.
පසුගිය 05 වැනිදා ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙක් මියගොස් තවත් 34ක් තුවාල ලබා තිබුණි.
යළි ඊයේ (06) පෙරවරුවේ රැඳවියන් උදෑසන ආහාර ගෙන අධිකරණ වෙත රැගෙන යාමට සූදානම් කර තිබියදී යළි ගැටුම හටගෙන ඇත.
ඊයේ දින ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඉන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19දෙනෙකු මියගොස් ඇති බව වාර්තා විය.
කැබිනට් අනුමැතියෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා කමිටුවක් පත් කර තිබේ. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් යන මහත්වරුන්ය.
එමෙන්ම මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබද කොළඹ අපරාධ කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.






